හත (7) කොටස : ගුවන් අනතුර

emirates-jet-crash-lands-in-dubai-engulfed-in-flames

ලියන මහත්තයා වන මම හොඳ කතන්දරකාරයෙක් නෙවෙයි. මේ කතාව මෙලෝ රහක් නැති අන්තිම වල් බූතයක් වගේ පේනවා නම් ඒකට ප්‍රදාන හේතුව මගේ මේ කතා කීමේ සයිලියේ තියෙන දුර්වලකම. මට ජීවිතේ කවදාවත්ම හොඳ කතන්දරකාරයෙක් වෙන්න තරම් හැකියාවක් තිබුනේ නෑ මහත්වරුනි. ඒක ගැන කනගාටු වෙන්නෙත් නෑ.

මම හොඳ කතන්දරකාරයෙක් නොවන නිසා සමහරවිට කතාව කියාගෙන යද්දි මඟ හැරුණු දේවල්, හිස්තැන් පුරවන්න වෙනවා. මේ ඒ වගේ අවස්ථාවක්.

කොටින්ම මට සම්පූර්නයෙන්ම අමතක වුනා සඳහන් කරන්න ගිරාම සේවක සිරිසේන මහත්තයා රස්සාවෙන් අස්වුනේ සවුක්ය ඇමැති සිරිසේන මහත්තයා පොදු අපේක්සකයා ලෙස ජනාදිපති තරගෙට තරග කරන්න ඇමැතිකමින් අස්වුනු දවස් වලමයි කියලා. ඔය නම් දෙකේ සමාන කමක් තිබුනාට ඔය දෙන්නා නෑයෝ කියලා හෙම හිතන්න එපා. අපේ ගිරාම සේවක සිරිසේන මහත්තයා කවදක්වත් රැකියාවයි දේසපාලනයයි පටලවා ගත්තෙ නෑ. ඉතාම ගවුරවනීය ආකාරයට තමන්ගෙ රජයේ රැකියාව කරගෙන හිටපු මහත්මයෙක් එයා. ඒ වගේ අය දැන් අඩුයි.

දැන් යලි කතාවට බහිමු.

මතකයි නේද සමන්තබද්‍ර මහ බෝසතානන් වහන්සේ දහසක් බුදුන් බුදුවන හිමිදිරි පාන්දර අරහත් බාවය ලබා ගත් ආකාරය? ඉන්පසුව උන්වහන්සේ කොටුවෙ නීලගිරි හෝටලයෙන් හකුරු කැට හා ලුනු මිරිස් සමඟ ආප්ප වළඳලා, කහට ගිලන්පස කෝප්පයක් හෙම බීලා, තමන් චිත්ත සමාදියට සම වැදුනු වෙලේ දිවැසින් දුටු දෙමළ කොල්ලාට හා මුස්ලිම් කෙල්ලට පිහිට වීම පිණිස ආගංගොඩ ගමට එර්දියෙන් ගමන ආරම්භ කරන්න බැලුවා. හැබයි ඒ වෙන කොටත් දෙමළ කොල්ලායි මුස්ලිම් කෙල්ලයි දෙන්නම බුදි. එකට හෙම නෙවෙයි. එහෙම නරක විදියට හිතන්න එපා. ඌ උගේ පැලේ. මෑ මැගේ පැලේ.

මුලු නුවරම නිදිගත් මේ මොහොතේ – සමන්තබද්‍ර අවදියෙන් ඇත කොටුවේ.

තව එකක් කියන්නෝනැ. සමන්තබද්‍ර වහන්සේට හිල්ටන් එකේ සින්ගල් රූම් එකක බිල ගෙවන්න කරදර වෙන්න වුනේ නෑ කවදාවත්. ඒවා කොහොමත් සුජාතාව බේරනවා, ඔය කිරි පිඬු දානය අරන් එන විටෙකදි. කොහොමටත් සමන්තබද්‍ර වහන්සේ කරන්නෙ ක්වික් චෙක්-අවුට් වෙලා කාඩ් එක රෙසෙප්ශන් එකේ තියලා යන එක විතරයි.

දැන්, ගමන.

රහතන් වහන්සේලාත් අර පයිලට්ලා වගේ තමයි. එර්දියෙන් යන ගමනට ඉන්න තැන හෙවත් ඔරිජින් යන තැන හෙවත් ඩෙස්ටිනේෂන් වගේ දත්ත ඇතුල් කරන්න ඕනෑ. මේවා කරන්නෙ දියුනු කල මනසින්. රහතන් වහන්සේලාගේ මනසේ ඒවාට වෙනම ගැජට් තියෙනවා. පුරුතග්ජන ඔහෙලා නොදන්නවා නම් කටයි පුකයි වහගෙන ඉන්න එකයි ඇත්තෙ.

ඊට පස්සෙ සමන්තබද්‍ර රහතන් වහන්සේ එර්දියෙන් ගමන ඇරැඹුවා. එර්දියෙන් යනකොට වඩින්නෙ ගුවන් යානයක් යනවාටත් වඩා පැයට කිලෝමීටර් දෙසීයක් විතර වැඩි වේගයකින්. මට හරියටම ගාන මතක නෑ. බුද්ද කාලයේ කිලෝමීටර් නොතිබුනු හන්දා යොදුන් වලින් තමයි ඔය ගනන තියෙන්නෙ. ඒක කිලෝමීටර් වලට හරවලා ගන්න ඕනෑ.

දැන් මහත්තයෝ, සිරා වැඩක් තමයි උනේ. මං කිව්ව නේද මේක වුනේ පහුගිය චන්දෙ කාලෙ කියලා?

කවුදෝ වේසිගෙ පුත්තු ටිකක්, වැරදුනා සිරි ලංකා නිදහස් පාක්සිකයෝ ටිකක්, ඊට කලින් දවසෙ රෑ සමන්තබද්‍ර වහන්සේගෙ රූට් එක මැද්දෙ මහින්ද මහත්තයගෙ අසූ අට රියන් කටවුට් එකක් ගහලා. ඔව් මහත්වරුනි, ඒ කාලෙ ඒ වගේ තමයි. තමන්ට කටවුට් එක ගහන්න හිතුනෙ කොහෙද ලලක්කගෙ පස්සපැත්තෙ වුනත් ගැහුවා කටවුට්. කවුද ඩෝ අපේ ගෝටා සෑර් ඉන්න කල් අපට අත උස්සන්න එන්නෙ?

“පට්……ටෝං!”

විදුලි වේගෙන් එර්දියෙන් වැඩපු සමන්තබද්‍ර වහන්සේ මහින්ද මහත්තයගෙ කටවුට් එකේ හැප්පුනා කියමුකෝ. මහින්ද මහත්තයාගෙ ඉන හරියෙන් විතර කටවුට් එක දෙකට කඩලා ගියා.

(ප්‍රදාන කතාවට එන්න කලින් එකම එක පොඩි අතුරු කතාවක් විතරක් කියන්නම්. පහුවෙනිදා උදේ මහින්ද මහත්තයාගෙ කටවුට් එක හරි මැදින් දෙකට කඩලා කියලා දැකපු සිරි ලංකා කාරයෝ සෙට් එකක් ළඟපාත යූ ඇම් පී ගෙවල් පහක්ම ගිනි තිබ්බා කියමුකෝ මහත්වරුනි. ඒ යූ ඇම් පී කාරයෝ අදත් හොයනවා මේ කටවුට් එක කඩපු එකාව. අතුරු කතාව ඉවරයි. නැවතත් විස්තර විචාරයට.)

සමන්තබද්‍ර වහන්සේට ලොකු ආපදාවක් වුනේ නැහැ කටවුට් එකේ හැපීම නිසා. පොඩි පොඩි ඩැමේජස් ටිකක් විතරයි.

හැබැයි ඒ කිට්ටුවම තිබුනේ කතෝලික පල්ලිය. (අනේ මහත්තයෝ, සිතියම දෙඤ්ඤංකෝ ඉස්මනට, ඔය හැමදාම ඉල්ලලා කරදර කරන්න එපා!) ආපු වේගය පාලනය කර ගන්න බැරුව උන් වහන්සේ උලු වහලයත් කඩා ගෙන දර බරාස් කියලා වැටුනෙ බ්‍රදර් බර්නාඩ්ගේ කාමරයට. බ්‍රදර් බර්නාඩුත් රෑ වැඩ කරලා පරිගණකය වහලා තිබුනෙ නෑ, මතක නැති වීමකින්. ඒකෙ තිරය මත ඒ වෙනකොටත් දර්ශනය වෙමින් තිබුනෙ ඊට සියවස් ගනනකට පෙර ඒ පල්ලියේම කලු සුදු චායාරූපයක්. මේ කලු සුදු චායාරූපය ඒක්ෂණයෙන් සමන්තබද්‍ර රහතන් වහන්සේගේ චිත්ත ගත වුනා. ඒ එක්කම බ්‍රදර් බර්නාඩ්ගේ බෑඩ් වයරිං නිසා විදුලි කාන්දු වෙමින් තිබුණු පේනුවක අත ගැසීම නිසා ඔහුට විදුලි සැර වැදුනා.

ඔහෙලට අපට වගේ පුරුතග්ජනයින්ට නෙවෙයි රහතන් වහන්සේ කෙනෙකුට විදුලි සැර වැදුනාම ආශ්චර්යයක් වෙනවා. එහෙම උනාම උන් වහන්සේ ඒ මොහොතේ චිත්ත ගත වූ පරිසරයක් වේද, මේ සංසාර චක්‍රයේ කොතැනක හෝ වේවා, ඒ ක්ෂණය වෙත ගමන් ගන්නවා. සමන්තබද්‍ර වහන්සේටත් වුනේ ඒකයි.

උන් වහන්සේ සියවස් ගණනාවක් ඈත අතීතයට වැඩියා එක්ෂණයෙන්.

නැවත ඇස අරින විට සමන්තබද්‍ර වහන්සේ ඉදිරිපිට පෙනී සිටියේ සුදෝ සුදු ලෝගුවක් දාගත් වයසක කතෝලික පියතුමෙක්.

Meu Deus! Vocę está machucado, senhor?

ඒ පියතුමා ඇහුවා. වේසිගෙ පුතෝ දැන් ඕකෙ තේරුම මගෙන් අහන්න එපා. මං පුරුතුගීසි බාසාව ඉගෙන ගෙන නෑ.

(හත්වැනි කොටසට…)

Posted in Non classé | 2 Comments

හය (6) කොටස : මුස්ලිම් කෙල්ල හා දෙමළ කොල්ලා

bombay

ඔය දෙමළ කොල්ලාගෙයි මුස්ලිම් කෙල්ලගෙයි පලහිලව්ව ගැන සමන්තබද්‍ර හිමිට බොහෝ කාලයකට ඉහත සිරිසේන මහත්තයා දැනගෙන හිටියා. ඒ ඔහු ගිරාම සේවක කාලෙ විසඳන්න වෙච්චි කේස් එකක් නිසා.

මිනිස්සු ගෑනු මැව්වෙ මහා බ්‍රහ්මයාද අල්ලා දෙවියන් වහන්සේද කියන්න මම දන්නෙ නෑ. සමහරවිට දෙන්න එකතුවෙලා ජොයින්ට් ප්‍රොජෙක්ට් එකක් හැටියට කරන්නත් ඇති. ඒ කොහොම වුනත්, මේ මැවීම අන්තිම අසම්පූර්න වැඩක්. කොටින්ම අල්ලා දෙවියන් වහන්සේට තිබුණා (එයා මැව්වා නම්) මුස්ලිම් ගෑනු ළමයි මුස්ලිම් පිරිමි ළමයින්ට විතරක් ආකර්ෂණය වෙන විදියට මවන්න. ඕකෙම අනෙක් පැත්ත කරන්න තිබුණා මහා බ්‍රහ්මයාටත්. අවාසනාවකට ඒක වුණේ නැහැ. මේ මැවීමේ තියෙන අසම්පූර්නකම හන්දා මුස්ලිම් ගෑනු ළමයි දෙමළ පිරිමි ළමයින්ට ආකර්ෂණය වුනා. දෙමළ පිරිමි ළමයිනුත් මුස්ලිම් ගෑනු ළමයින්ට ආකර්ෂණය වුණා.

ඕක තමයි කියන්නෙ ප්‍රොඩක්ෂන් ෆ්ලෝර් එකට එන්න කලියෙන් ඩිසයින් මිස්ටේක්ස් කරෙක්ට් කරන්න ඕනැ කියලා. ප්‍රොඩක්ෂන් එක ඉවර වුනායින් පස්සෙ ඩිසයින් මිස්ටේක්ස් හදන එක බොරු.

ඒක කිව්වෙ මේ ලියන මහත්තයා වන මා විසින් නොව ටවුමේ ටයර් පැක්ටරියේ මැනේජර් මහත්තයා විසින් බව කරුනාවෙන් සලකන්න.

ඔය මුස්ලිම් කෙල්ලයි දෙමළ කොල්ලායි ගැන කතාව ඉතාම රසවත්.

මෙන්න මෙහෙමයි ඒක පටන් ගත්තේ.

මම කිව්වා නේද ආගංගොඩ කියන්නෙ ආගම් හතරක් අදහන ජනතාව හරි හරියට වෙසෙන ගමක් කියලා. හැබැයි ගමේ ජනගහණය ඒ තරම් විශාල නැති නිසා ඩඩ්ලි සේනානායක මහතාගේ ආන්ඩුවෙ අධ්‍යාපන ඇමැතිව සිටි ඊ. එම්. ඊරියගොල්ල සිරිමතානන් හිතුවෙ නෑ ඉස්කෝල හතරක් දෙන්න. එයා ඉස්කෝල දෙකක් දුන්නා. එකක් සිංහල මාධ්‍ය. අනෙක දෙමළ මාධ්‍ය. බවුද්ද හා කතෝලික ළමයි සිංහල මිශ්‍ර පාසලට ගියා. දෙමළ හා මුස්ලිම් ළමයි දෙමළ මිශ්‍ර පාසලට ගියා.

දැන් තේරෙනවා නේද, වයස අවුරුදු හයේදි රෝමියෝ ජුලියට් ආදර අන්දරයක් ආරම්භ වුනේ කොහොමද කියලා.

කෙල්ලයි කොල්ලයි දෙන්නම ඉගෙන ගන්න දස්සයි. මුලදි කෙල්ල පන්තියෙ පළවැනියා වෙනකොට කොල්ලා දෙවැනියා වුණා. පස්වැනි පන්තියෙන් විතර පස්සෙ මේක අනෙක් පැත්තට හැරුණා ඉබේම. දැන් කොල්ලා පළවැනියා. කෙල්ල දෙවැනියා. දෙන්නම බ්‍රදර් බර්නාඩ් වගේ සිස්සත්තෙ පාස් නොවුනු හන්දා ලොකු ඉස්කෝල වලට ගියෙත් නෑ. ඉගෙන ගන්න සූර නිසා ඉස්කෝලෙන් අස්වුනෙත් නෑ. කෙල්ලගෙ පවුලත් සාම්ප්‍රදායිකම මුස්ලිම් නොවෙන හින්දා කෙල්ල ඉගෙන ගන්නවාට ලොකු විරුද්ධත්වයක් තිබුනෙත් නෑ.

නවයේ දහයේ වසර විතර වෙනකොට මේක අප්‍රකාශිත – ඒ කියන්නෙ දෙන්නගෙන් එක්කෙනෙක් වත් ‘ආදරය’ කියන වචනය භාවිතා නොකළ – බොහෝම දැඩි සම්බන්ධයක් වෙලා තිබුණා.

දැන් ඔහෙලා හිතනවා ඇති ඇයි මේක මේ කාලෙදිම දෙමාපිය මැදිහත්වීමකින් නොකැඩුනේ කියලා. මතක තියා ගන්න මේ කොල්ලායි, කෙල්ලයි දෙන්නම මහා මොළ දෙකක්, සිස්සත්තෙ පාස් නූනට. උන් දෙන්නා කතා කරගෙන වගේ හැසිරුණේ මෙහෙම දෙයක් හාංකවිසියක් නැති ගානට. සමහර වෙලාවට දෙන්න තමන් එකිනෙකා අප්‍රිය කරන බව පෙන්වන්න බොරු ගේම් ඇද්දා. කෙල්ල පොඩි වැරද්දක් කළාම කොල්ලා වහාම ගුරුවරුන්ට පැමිණිලි කරපු අවස්ථා තිබුණා. දෙන්නා එකිනෙකාගෙ පොත් පත් පවා හුවමාරු කර ගත්තෙ ඉතාම කලාතුරෙකිනුයි. හැබයි මේ එලියෙ කාටවත්ම නොපෙනෙන දේවල් අතරෙ යටින් ඉතාම දැඩි සම්බන්දයක් අතු ඉති දළු ළමින් තිබුණා…

මං මේ කියන්න යන සිද්දිය වෙනකොට මේ දෙන්නා අතර ඔය අපි ඔහෙලා දන්න ජාතියෙ ස්ථිර ආදරයක් කියලා හෙම මොකෝවත්ම පටන් අරගෙන නෑ. කොටින්ම ‘ආදරය’ කියන වචනය වත් දෙන්නා අතර හුවමාරු වෙලා නැහැ ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන්. මේ දෙන්නා අතර කතාබහකදි ‘ආදරය’ කියන වචනය හුවමාරු වුණා නම් ඒ වෙන දෙන්නෙකුගේ සම්බන්දයක් ගැන කතා කරන අවස්ථාවකදි විතරයි. නමුත් දෙන්නා හොඳම මිතුරන්. ඒ හන්දා රටේ ලෝකයේ බොහෝ දෙවල් ගැන දෙන්න විවෘතව කතා කළා.

එක දවසක් දෙමළ කොල්ලා මුස්ලිම් කෙල්ල ගෙන් මෙන්න මෙහෙම – සාමාන්‍යයෙන් කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් අහන්නේ නැති ජාතියේ – නස්කූනි ප්‍රශ්නයක් ඇහුවා.

නෑ, නෑ ඔයා මට ආදරෙයිද කියලා හරි අපි සම්බන්දයක් පටන්ගනිමුද කියලා නෙවෙයි ඇහුවෙ. තොපිට… වැරදුනා ඔය ගරු මහත්වරුන්ට ඊට වැඩිය පරිකල්පන ශක්තියක් නැති එකට මම මොනවා කරන්නද?

සිංහලෙන් හෙමත් නෙවෙයි දෙමළෙන්මයි ඇහුවෙ. මම දෙමළ නොදන්නා නිසා තේරුම් ගන්න පුළුවන් විදිහට ලියන්නම්.

“ඇත්තද මුස්ලිම් ගර්ල්ස්ලා ඇඟේ තියෙන හැම රෝම කූපයක්ම ෂේව් කරනවා කියන්නෙ?”

(හත්වැනි කොටසට…)

Posted in Non classé | 2 Comments

පහ (5) කොටස : සමන්තබද්‍ර නම් අරහත් හිමි

1-9

මේ කතාව කවර හෝ හේතුවක් හින්දා ඉදිරියට යන්නෙ හෙමින්. ලියන මහත්තයා වන මට බනින්න එපා ඒ ගැන. ගරු මහත්වරුනි, ඒක ඒ කතාවෙ ස්වභාවය.

අපි තාමත් ඉන්නෙ ඉරිදා.

මොන ඉරිදෙයි?

ළමයෝ අර සිරිසේන ජනාදිපතිතුමා…සමාවෙන්න, හිටපු ගිරාම සේවක තුමා රස්සාවෙන් අස්වෙලා ඊළඟට එළඹුනු ඉරිදා.

කවරෙ දාල පොත හෙම ලෑස්ති කර ගත්තාට සිරිසේන මහත්තයාට තවමත් අකුරක් වත් කියන්න බැරි වුණා. බ්‍රදර් බර්නාඩ්ගේ ප්‍රෝග්‍රෙස් එක නම් ඊට ටිකාක් හොඳයි. බ්‍රදර්ටත් තවම ලියන්න පටන් ගන්න බැරි වුණාට ඔය අන්තර්ජාලය ගූගල්ද මොකද්ද කරලා යම් යම් විස්තර ටිකක් හොයා ගෙන තිබුණා.

මේ නිසා ලියවෙමින් තිබුනේ අලිඛිත ඉතිහාසය විතරමයි.

ආගංගොඩ ගමේ අලිඛිත ඉතිහාසය ලියැවුනා ගම තුලදි වගේම ගමෙන් පිටතදිත්. සමහරවිට ගමෙන් පිටතදි ලිය වෙච්චි ඉතිහාසය වඩා වැදගත්, වඩා රසවත්.

සමන්තබද්‍ර මහ බෝසතානන් වහන්සේ කල්ප කාලාන්තරයක් පෙරුම් පුරලා අරහත් භාවයට පත්වීම ඒ අලිඛිත ඉතිහාසයේ වැදගත් සිද්ධියක්. ඇත්තටම උන්වහන්සේ සියළු උත්සාහ දැරුවේ බුද්ධත්වය වෙනුවෙන්. හැබැයි පෙර ආත්ම භවය කළ සුළු අකුසල කර්මයක් නිසා උන්වහන්සේට එතැනට යන්න බැරිවුනයි කියමුකෝ.

සමන්තබද්‍ර මහ බෝසතානන් වහන්සේ අරහත් භාවය ලබා ගත්තෙ කොළඹ හිල්ටන් හෝටලයෙදි. අර එක තට්ටුවක් අඩු හෝටලේ කියන්නෙ. ඔව්, ඒකෙදි තමයි.

සමන්තබද්‍ර මහ බෝසතානන් වහන්සේ අරහත් භාවය ලබා ගැනීමේ කතාව හුඟාක් දිගයි. සාරාසංඛ කල්ප ලක්ෂයක් කියන්නෙ සුලුපටු කාලයක්යැ. දැන් ඉතින් ඒකත් මහා පතරංග ජාතකේ වගේ කියලා ගොන් කතාවක් කියන්න එපා. මහා පතරංග ජාතක කතාව කියන්නෙ එක ජාතකයක් විතරයි හරකෝ. මේ කියන්නෙ සාරාසංඛ කල්ප ලක්ෂයක දිග කතා. දැන් තොපිට…වැරදුනා දන් ඔය මහත්වරුන්ට කියමුකො මම කතාව සමන්තබද්‍ර මහබෝසතානන් වහන්සේ, මනුරත්න තාපසයාව ඉපැදිලා සෝමරංසි බුදුන්ගෙන් නියත විවරණ ලබා ගත්තු තැන ඉඳලා කතාව. බලාගෙන ඉන්න. එව්වා සුම්මා. මම කියන්නෙ අදාළ කොටහ විතරයි.

අදාළ කතාව මෙච්චරයි: සමන්තබද්‍ර බෝසතානන් වහන්සේ අරහත් භාවය ලැබූ සේක. සාදු. සාදු සාදු.

ඒ එක්කම පින්වතුනි ඔය ඇත්තන් සිහියේ තබා ගත යුතුයි සමන්තබද්‍ර වහන්සේද අරහත් භාවය ලබා ගන්නේ ඉතාම දුෂ්කර ක්‍රියා කලාපයකින් පසුව බව. කොටින්ම ඔය සම්පූර්ණ කාලය මුලුල්ලේම තන්හා රතී රාගා මර දෙවඟනන් තිදෙනාම සමන්තබද්‍ර වහන්සේගේ සයනය මත උන් වහන්සේගෙ වෑයම අඩපණ කරන මෙහෙයුමක යෙදී සිටියා පින්වතුනි. සමන්තබද්‍ර වහන්සේ අරහත් භාවය ලබා ගන්නේ ඒ මර දුවරුන් සමඟ කළ මාර පරාජයෙන් පසුවයි.

අරහත් භාවය ලැබීමෙන් පසුව සමන්තබද්‍ර වහන්සේට මහා සැහැල්ලුවක් දැනුනා පින්වතුනි. ශුන්‍යත්වය කියන්නේ කුමක්ද උන්වහන්සේට අවබෝධ වූ සේක.

ඒ එක්කම උන් වහන්සේට ලොකු බඩගින්නකුත් දැනුනා පින්වතුනි. මොකද උන්වහන්සේ අරහත් භාවය ලැබුවේ අර දහසක් බුදුන් බුදු වෙනවාය කියන පාන්දර ජාමයේ.

අනෙක් අතට අරහත් භාවය ලැබීමේදී මනස සේම කුසද සැහැල්ලු වෙනවාද නැද්ද කියලා මේ පුරුතග්ජන ඔහෙලායි මායි දන්නෙ නෑනෙ.

කරුමෙට ඒ වෙනකොට හිල්ටන් එකේ රෙස්ටෝරන්ට් එකයි බාර් එකයි දෙකම වහලා. සමන්තබද්‍ර වහන්සේ කාමරයේ මිනිබාර් එකෙන් පොඩි සමාධි සුවයක් වින්දා තමයි. ඒත් පට්ට බඩගිනියි.

සමන්තබද්‍ර වහන්සේ ඇඳ පැළඳගෙන හිල්ටන් එකෙන් එළියට බැස්සා උදේ තුන හමාරට විතර ඇති. කොහොමත් කොළඹ කොටුවෙ රෑ තිස්සෙ වහන්නෙ නැති කඩ ටිකක් තියෙනවා. ඒවායින් ආප්පයක් දෙකක් වළඳන්න තමයි සමන්තබද්‍ර මහ රහතන් වහන්සේගෙ අරමුණ වුණේ. උදේ උනායින් පස්සෙ නම් සුජාතාවට ෆෝන් කෝල් එකක් දීලා කිරි ආහාර ටිකක් ගෙන්න ගන්න තිබුණා. පාන්දර තුනහාමාර සුජාතාව වුනත් බුදියනවානෙ පින්වතුනි. පව් ඇහැරවන එක.

හැබැයි ඔය පින්වතුනුත් දන්නවා ඇති ඔය බුදු කෙනෙක්, රහතන් වහන්සේ කෙනෙක් හෙම මොකද්දෝ චිත්තයකට සමවැදිලා අද මම පිහිටවෙන අසරණයා කවුද කියලා කල්පනා කරනවා.

ලිෆ්ට් එකෙන් පහළට එන ගමනේ සමන්තබද්‍ර මහ රහතන් වහන්සේත් ඒ වගේ චිත්තයකට සම වැදුනා, අද කවරෙක්ද විපතට පත්ව සිටින්නේ, කාටද මා උදව් කරන්නේ කියලා….

කාවද දන්නවද උන්වහන්සේගෙ සමාධි චිත්තයට මීටර් වුණේ…

ආගංගොඩ කියන ගමේ දෙමළ කොල්ලෙකුයි මුස්ලිම් කෙල්ලෙකුයි…

ආප්ප වළඳා, කහට කෝප්පයක් බී, අවසන් කළ විගසම මේ දෙදෙනාගේ පිහිටට ආගංගොඩ ගමට එර්දි බලයෙන් වඩින්න උන් වහන්සේ වහාම තීරණය කළා…

(හයවැනි කොටසට…)

Posted in Non classé | Leave a comment

හතර (4) කොටස : සුනාමිය

JP1847

මේ සිද්දිය වුනේ සිරිසේන ගිරාම සේවක මහත්තයා රස්සාවෙන් අස්වෙලා අවුරුදු තුනකට විතර පස්සෙ.

ආගංගොඩ ගමට ආවා සුනාමියක්. අර 2004 දෙසැම්බර් මාසෙ තරමටම නොවුනත් ඉතාම බයංකර සුනාමියක්.

ලොකු රතු අකුරින් ලිව්වෙ ඒ සුනාමියෙ බයානක කම ඉස්මතු කිරීම සඳහා මහත්වරුනි.

ගමේ හුඟක් මිනිස්සු මැරුනා. ගෙවල් දොරවල් යටවුනා. මූදු රල මීටර දහයකටත් වැඩිය උඩින් ගියා. පොල් ගස් කඩා වැටුනා. රේල්පාර ඇඹරුනා. 2004 තරමටම නොවෙතත් තරමකට ලොකු හානියක් වුනා.

දැන් ඔහෙලා මගෙන් අහන්න බලාන ඉන්න පුරස්නෙ මම දන්නවා.

යකඩො, කොහොමද අපි නොදන්න දෙවැනි සුනාමියක් ආවෙ ලංකාවට? ඇයි ඔය සුනාමිය ගැන පත්තර ටීවී මොනවත්ම නොකිව්වෙ? උඹ හිතාන ඉන්නෙ අපි කොන්ඩෙ බැඳපු බයියෝ කියලයි?

ඕකනේ කියන්නෙ වලිගෙ පාග ගන්න එපා කියලා.

අද කවදෙයි?

ඉරිදා.

මොන ඉරිදද?

අර සිරිසේන ගිරාම සේවක මහත්තයා රස්සාවෙන් අස්වුනු සිකුරාදා දවසට පස්සෙ ආපු ඉරිදා. වෙන වචන වලින් කිව්වොත් සිරිසේන ගිරාම සේවක මහත්තයා තමන්ගෙ අස්වීමෙ ලියුම යහපාලන…, නෑ වැරදුනා පහයාලනවැව දිසාපතිතුමන්ගෙ අතටම බාර දීලා ගෙදර ආවෙ ඊයෙ නෙවෙයි පෙරේදා.

දැන් සුනාමිය ඇති වෙන්නෙ කවදයි?

පෙරේදා සිට ඉස්සරහට අවුරුදු තුනකින්.

ඉතින් වේසිගෙ පුතෝ… වැරදුනා, ඉතින් ගරු මහත්වරුනි තව අවුරුදු තුනකින් ඇතිවන සුනාමියක් අද පත්තර, රූපවාහිනී දන්නෙ කොහොමෙයි?  ඒක තවම දන්නෙ මම විතරයි. අර ජනාදිපතිතුමා මැරෙන දවස දන්නෙ විජිත් රෝහණ විජේමුනි ජ්‍යෝතිශාස්ත්‍රඥ තුමා විතරයි වාගෙ. මම කිව්වයින් පස්සෙ දැන් තමයි ඔහේලත් දන්නෙ. නිකම් බූත කතා කරන්න එන්න එපා මෙතැන.

මේ සුනාමිය ගැන මට ඒ කාලෙට ලියන්න පුලුවනි. ඩොකියුමෙන්ටරි එකකුත් ගහලා කීයක් හරි හොයා ගන්න තමයි ඉන්නෙ. ඒ හන්දා වැඩි විස්තර බලාපොරොත්තු වෙන්න එපා.

මං මේ කියන්න යන්නෙ සුනාමිය නිසා ඇති වෙච්චි ප්‍රතිඵලයක් ගැන අතුරු කතාවක්.

මං කලින් කිවා නේද මේ ගමේ ප්‍රධාන ආගම් හතරකට අයත් ආගමික ස්තාන හතරක් තියෙනවා කියලා. (අනේ, තරහ ගන්න එපා තාම හරි හමන් සිතියමක් දෙන්න බැරි වුනාට.) මේ ආගමික ස්තාන හතරෙන් මූදට කිට්ටුවෙන්ම තිබුනෙ මුස්ලිම් පල්ලිය. ඒක අරාබීන් ලංකාවට ආපු මුල් යුගේම තනපු මුස්ලිම් පල්ලියක් කියලයි කවුරුත් කිව්වෙ.

සැ.යු. ආගංගොඩ ගමේ තියෙන මොනම දෙයක් වත් අලුත් නෑ. පන්සලත් වලගම්බා යුගය දක්වා දිවෙන, දුටුගැමුණු රජතුමා රුහුනේ සිට රජරට කරා විජිතපුර සටනට යද්දි සමන්පිච්ච මලින් පූජා පැවැත්වූ පුරාන රජමහා විහාරයක්. කතෝලික පල්ලිය පරනයි කියලා ඔහෙලා දන්නවනෙ. සිව දේවාලෙ තමයි ඔක්කෝටම වඩා පරනයි කියලා කිව්වෙ. ඒක මහා බ්‍රහ්මයා ලෝකෙ මැව්වදාට පහුවෙනිදා ඔහේ බකං නිලාගෙන ඉන්න බැරුව විනෝදෙට වගේ නිර්මානය කරපු එකක්. මුස්ලිම් පල්ලියත් ඒ වගේම තමයි.ඉතාම පෞරානිකයි, මහත්වරුනි.

මේ අතුරු කතා නිසා කියන්න ආපු දේ කියන්න බැරි වුනානෙ. සමාවෙන්න.

මුස්ලිම් පල්ලිය තමයි ආගමික් ස්තාන හතරින් මූදට කිට්ටුවෙන්ම තිබුනෙ. ඉතින් තව අවුරුදු තුනක් අනාගතේදි ආපු සුනාමියෙන් ඒකෙ බිත්ති හතර පැත්තෙන්ම කඩා වැටුන කියමුකෝ. එතකොට තමයි ඒක ඇතුලෙ මෙච්චරකල් හැංගිලා තිබුනු අපූරු යමක් එකපාරටම ලලක්කා සාය ඉස්සුවා වගේ ලෝකයට විවෘත වුනේ.

මුස්ලිම් පල්ලියේ බිත්ති හතරින් ඒ වෙන තෙක් වට වෙලා හැංගිලා තිබිලා තියෙන්නෙ පුංචි චෛත්‍යයක්. මහ ලොකු එකක් හෙම නෙවෙයි. ඒත් රුවන්වැලිසෑය වගේම කොත් කැරැල්ල, පේසා මන්ඩලයද මොකද්ද එක, බිසෝ කොටුව… නෑ හතරැස් කොටුව යනාදී සියලු අංග වලින් පරිපූර්න වූ පුංචිම පුංචි බුබ්බුලාකර චෛත්‍යයක්.  

කලබොල වෙන්න කාරි නෑ. ඔහෙලා මේ කතාව තාම දන්නෙ නෑ හොඳේ. මොකද මේක වෙන්නෙ තව අවුරුදු තුනකින්.

(පස්වැනි කොටසට…)

Posted in Non classé | Leave a comment

තුන (3) කොටස : තිත්ත කෝපි

100-genuine-heirloom-colorful-font-b-coffee-b-font-font-b-bean-b-font-font-b

සිරිසේන හිටපු ගිරාම සේවක මහත්තයත්, බ්‍රදර් බර්නාඩුත් තමන්ගේ ගමේ ඉතිහාසය ලිවීමේ ප්‍රොජෙක්ට්ස් වෙන වෙනම කර ගෙන යද්දිත් ඔවුන් නොදැනුවත්වම ආගංගොඩ ගමේ ඉතිහාසය ලියවෙමින් තිබුනා සියවස් දහස්වස් ගණනක් තිස්සේම. හැබැයි ඒ අවශ්‍යයෙන්ම පොත්පත් වල නෙවෙයි.

මුරුගේසු එහෙම අලිඛිත ඉතිහාසයක් ලියපු ඉතිහාසඥයෙක්.

මනිවන්නන් මුරුගේසු – දෙමළ සම්ප්‍රදායයට අනුව පියාගේ නමත් සමඟම – ඉපැදුනේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ. හැබැයි ඒ දවස්වල තමිල්නාඩු ප්‍රාන්තයක් නෑ. දැනට බෙදිලා තියෙන ප්‍රාන්ත කිහිපයක කොටස් එකතුව මදුරාසි ප්‍රාන්තය කියලා තමයි මුරුගේසුගේ උපන් රට හැඳින්වුනේ.

ඒ කියන්නෙ, ඒ යුගයේ ඉන්දියානු ව්‍යවහාරය අනුව මුරුගේසු ‘මැඩ්රාසියෙක්’. දකුණු ඉන්දියානුවෙක්. රාමායනයේ හනුමන්ගේ හමුදාවට අයත් වූ වානරයන් සේ නිරූපිත ජන කොටස දකුනු ඉන්දියානුවන් බව කියැවෙනවා. ඔවුන් සාමාන්‍යයෙන් ඉන්දියාවේ උතුරේ, බටහිර, නැඟෙනහිර හා මධ්‍යයේ වැසියන්ට ස්වරූපයෙන්ද, හැසිරීමෙන්ද වෙනස්.

මුරුගේසු ලංකාවට – ඒ කාලෙ කිව්ව විදියට සිලෝන් එකට – ආවෙ කෝපි කාලෙ.  ඇත්තටම මේ මුනියා ආවෙත් කෝපි වගාව නිසාම තමයි. ඒ කාලෙ ලංකාවෙ ප්‍රධාන ආදායම් භෝගය කෝපි. දෙමල උච්චාරනය අනුව ‘කොපි’.

කෝල්බුරුක් හා කැමැරූන් කියලා මෑන්ස්ලා දෙන්නෙක් ගැන මුරුගේසු අහලා තිබුනේම නෑ. හැබැයි මුරුගසුගේ ජීවිතය වෙනස් කලේ මේ මෑන්ස්ලා දෙන්නා තමයි.

ලංකාවෙ කෝපි වවන්න ලන්දේසි යුගයෙ පටන්ම උත්සාහයක් තිබුනාලු. හැබැයි ඒ උත්සාහය සාර්තක වුනේ නෑ. ලංකාවෙ එක්තරා අන්දමකට මහා පරිමානයෙන් කෝපි වවන්න ඉංගිරිස් කාරයින් පටන් ගත්තෙ මේ කෝල්බුරුක්-කැමැරූන් මෑන්ස්ලා දෙන්නාගෙ මැදිහත්වීමෙන් ඇති වෙච්චි 1833 ප්‍රතිසංස්කරන වල එක අංගයක් හැටියටයි.

1830 දසකයෙදි ඉංගිරිස්කාරයා ඒ වනතෙක් පහත රට සුලුවෙන්, සාර සුබාවක් නැතුව පැවතුනු කෝපි වගාව උඩරට මහා පරිමානයෙන් ආරම්බ කරන්න කල්පනා කලා. ඒ 1815 හා ඊට පහු කාලෙක කන්ද උඩරට රාජදානියෙන් ලබා ගත්තු කැලෑ ඉඩම් වැවිලිකරුවන්ට විකුනලා, එලි කරලා. මේ ඉඩම් වල රාජකාරියට රටේ සිංහල ජනතාව කැමැති වුනේ නැතිලු. කියන්නෙ නම් ඒ උන්ගෙ මහන්තත්තකමට කියලා. හැබැයි ඒකට තවත් හේතු ගනනක් තිබුනා. උඩරට කැලෑ එලි කිරීම කියන්නෙ සෙල්ලමක් නෙවෙයි. “කැලෑ උන” කියලා පොදු ව්‍යවහාරයේ හැඳින්වුනු මැලේරියාව දරුණු ලෙස පැතිරෙමින් තිබුනා. මුල් යුගයෙ වතු වැඩට ගෙන ආ දෙමළ කම්කරුවන් බාගයට බාගයක් මැලේරියාව නිසා මැරුනාය කියලා තමයි ලියවිලා තියෙන්නෙ.

සුද්දාට මුරුගේසුලා සිලෝන් එකට ගේන්න අවශ්‍ය වුනේ ඒ හන්දා.

සිලෝන් එකට ආවේ මොන වෙරළින්ද කියලා වත් මුරුගේසු කවමදාවත් දැනගෙන හිටියෙ නෑ. මුරුගේසුට මතක ඉස්සෙල්ල පයින් හා කරත්ත වලිනුයි පහු වෙන්න ලොකු ඔරුවකිනුයි ඊටත් පස්සෙ ආපහු පයිනුයි ලොකු දුරක් ඇවිදින් සිලෝන් වල ‘බොටර්නෙල්’ වතු යායට ආවා කියලා විතරයි. මෙ ගමනෙදි තමන්ගෙ ගමන් සගයින් සිය ගානක් මැරෙනවා බලා ඉන්නත් මැරුනාම වලදාලා හරි ගොලු මුහුදට අතෑරලා හරි අවසාන කටයුතු කරන්නත් මුරුගේසුට සිද්ද වුනා.

මුරුගේසුගෙ ලංකා ගමන ගැන මං වැඩි විස්තර ලියන්න යන්නෙ නෑ. කුන්ටා කෙන්ටෙ කියලා කලු තරුනයෙක් මීට සමාන්තර කාලයක ගැම්බියාවෙ සිට එක්සත් ජනපදයට බලෙන් ගෙන ගිය ගමන ඔහේලා “රූට්ස්” පොතින් කියවලා ඇති. නැත්නම් චිත්‍රපටයෙන් දැකලා ඇති. මුරුගේසුගෙ ගමන ඒ තරමටම දුස්කර නැති වුනාට කිට්ටුයි.

මුරුගේසු ‘බොටර්නෙල්’ වතු යායේ කාලයක් වැඩ කලා. වැඩ ලොකුවටම අමාරුවක් නෑ. තරමක පඩියකුත් ලැබුනා. මුරුගේසු ටිකෙන් ටික වතු යායේ ප්‍රජාවේ කොටහක් බවට පත්වුනා කියමුකො. තවමත් තනිකඩයා. සුද්දා ගෑනුත් ගෙනාවා තමයි. ඒත් මුරුගේසුගෙ “මගේ නොවන මගේම ප්‍රේමය” පාර්වතී තව මිනිහෙක් එක්ක දීග ගියා. අන්තිමට බලාගෙන යනකොට හැමෝටම විඳින්න වුනේ ගොලු හදවත අත්දැකීම තමයි. කරුනාසේන ජයලත් මහත්තයා ඕවා දිවැහින් දැකලා වාගෙ කොහොම ලිව්වද මන්දා.

පාර්වතීගේ සිද්දිය නිසා මුරුගේසුට ‘බොටර්නෙල්’ වතුයාය එපා වෙලයි තිබුනෙ.

ඒ එක්කම තමන් උපන් ගමේදි දුටුව “සිලෝන් සිහිනයේ” පතුරු ගැලවෙමින් තිබුනු බවත් ඔහු තේරුම් ගනිමින් සිටියා.

මුරුගේසුගේ වතුයායේ බොක්ක වී තිබුනේ රගුනාදන්. දවසක් දෙන්නා බුලත් විටක් හපමින් මේ ගැන කතා කලා.

“මට හිතෙනවා මේ වතු යායෙන් පැනලා යන්න”

මුරුගේසු කිව්වා.

කිව්වෙ මෙහෙම සිංහලෙන් හෙම නෙවෙයි. දෙමලෙන්. මට දෙමල බැරි නිසයි සිංහලෙන් ලිව්වෙ. පහත දෙබස ඇති වුනෙත් – අතරින් පතර සිංහල වචනයක් දෙකක් තිබුනත් – දෙමලෙන්ම තමයි.

“මේ වතුයායෙන් පැනලා කොහෙ යන්නද? කොහොමද අපි එදා වේල හොයා ගන්නෙ?”

“මං අහලා තියෙනවා ආං අර පැත්තට දවස් හය හතක් ඇවිද්දාම සිංහල ගම් හම්බවෙනවා කියලා. අපි ඒවායින් මොනවා හරි රස්සාවක් හොයා ගනිමු.”

මුරුගේසු නිරිත දිහාවට අත දික් කලා.

“උඹට පිස්සුද ගොන් හරකෝ? මේ අපේ රට නෙවෙයි. අපට ඒ මිනිස්සුත් එක්ක කතා කරන්නවත් පුලුවන්ද සිංහල බැරුව?”

“අපි ඔය පුලුවන් විදියට කතා කරමු. අපට සහේට ගන්න ගෑනියෙක් හෙමත් හොයා ගන්න පුලුවන්”

‘සිංහල ගෑනියෙක්?”

“නැතුව වැඳිරියෙක්යැ?”

ඒ අවසාන අදහස නම් රගුනාදන්ගෙ දැඩි හිතත් ටිකක් මොලොක් කල බව පෙනුනා. වත්තෙන් කසාද බඳින්න ගෑනියෙක් හොයා ගන්නවට වැඩිය ලේසියි කඩාගෙන වැටෙන්නෙ නැතුව කෝපි ගහේ කරටියටම නගින එක.

සුභ නැකැත් බැලීම් වගේ දෙවල් නොතිබුනු හන්දා ඊලඟ අමාවක දවසෙම අවශ්‍යම ඇඳුම් කැඩුම් කාරිය ඔතාගෙන මුරුගේසුත් රගුනාදනුත් වත්තෙන් අතුරුදහන් වුනා. මේ වගේ අතුරුදහන් වීම් ඒ තරම්ම දුලබ වුනේ නෑ. අහු වුනා නම් දඬුවම් විඳින්න වෙනවා. හැබැයි හොඳ ශ්‍රම සැපයුමක් කොහොමත් තිබුනු නිසා පෙරියදොරේ මේවා ලොකුවට ගනන් ගත්තෙත් නෑ.

කවමදාවත් අනුන්ගේ දෙකට අත නොතබපු මුරුගේසු එකම එක දෙයක් වත්තෙන් හොරකම් කලා. ඒ තමා සියලු දෙනාගේම වන්දනයට තිබුනු ගන දෙවි ප්‍රතිමාව. ඒක මේ මහා කලාත්මක නිර්මානයක් හේම නෙවෙයි. මැටියෙන් හදලා වේලලා සායම් හෙම ටිකක් උලලා තිබුනු පොඩි එකක්.

පුරා දින පහක් කැලෑ කොල කකා, දොල පහර වලින් වතුර බිබී, දවල්ට නිදාගෙන රෑට ගමන් කරමින් මුරුගේසු හා රගුනාදන් නිරිත දිගට ගමන් කලා. කඳුකර බිම් වලින් හෙමි හෙමිහිට බැහැගෙන ආපු ඔවුන් තැනිතලා කෑලෑ මැදිනුයි අවසාන දින කිහිපයේදි ගමන් කලේ.

මේ දුස්කර ගමනෙදි ලොකුම ගැටලුව වුනේ ආහාර. හාවෙක් මීමින්නෙක් හෙම නෙලා ගන්න අවස්ථාව තිබුනත් ශාකහාරී භක්තිමත් හින්දු තරුනයින් දෙන්නා ඒක කරන්න කැමැති වුනේ නැහැ.

දෙවැනි ගැටලුව වුනේ මැසි මදුරු ප්‍රහාර. ගමකට ළඟා වෙන්න කලියෙන් කැලෑ උන හැදිලා තමන් මියැදෙයි කියලා හැඟීමක් දෙන්නටම පහල වෙලා තිබුනත් ඔවුන් ඒක එකිනෙකාට කිව්වෙ නෑ.

කොයිතරම් අපහසුවෙන් වුනත් මුරුගේසු ගන දෙයියන්ගේ ප්‍රතිමාවත් ඔසවාගෙන ගියා. ගන දෙයියන් තමන්ගේ ගමනට ආසිර්වාද කරන බවත්, ගන දෙයියන් නොහිටියා නම් තමන්ට මේ තරම් දුර එන්න බැරි බවත් මුරුගේසු තදින්ම විස්වාස කලා.

කැලෑව මැද්දෑවෙන් මේ සමූහ මිනිස් හඬ ඔවුන්ට ඇහුනෙ සය වැනි දවස උදා වේගෙන එන හිමිදිරි පාන්දර…

“අල්ලා….හු අක්බර්…අල්ලා….හු අක්බර්…”

(සතරවැනි කොටසට…)

Posted in Non classé | 1 Comment

දෙක (2) කොටස : බ්‍රදර් බර්නාඩ්

northfield-3

බ්‍රදර් බර්නාඩ් ඇවිල්ලා තිබුනෙ සිරිසේන ගිරාම සේවක මහත්තයා රස්සාවෙන් අස්වෙච්චි විත්තිය අහලා, ඒක ඇත්තද නැත්තද දැන ගන්න. හැබැයි ඒකෙන් වුනේ කවුරුවත්ම හිතුවෙ නැති අලුත්ම පරිච්ඡේදයක් ආරම්භ වෙන එකයි.

බ්‍රදර් බර්නාඩ්ට තාමත් ලොකු වයසක් නෑ. තිස් ගනන් වල මයෙ හිතේ.

බ්‍රදර් බර්නාඩ් සිස්සත්තෙ පාස් වෙලා කාරිය ගොහින් තිබුනෙ ආනන්දෙටයි. ඒ කාලෙ බ්‍රදර් බර්නාඩ්ට දේවගැති වීමේ අදහසක් තිබිලා නෑ. ආනන්දෙ වගේ ලොකු ඉස්කෝලෙක ඉගෙන ගත්තා කිව්වාම නම්බුවක් හින්දයි බර්නාඩ් කියන කතෝලික ශිෂ්‍යයා සුදු ඇඳුමක් ඇඳගෙන සිංහල බවුද්ද අද්යාපනයේ කේන්ද්‍රස්තානයයි කියන ආනන්දයට ගියේ.

බවුද්ද විද්යාලයක් වුනු ආනන්දයේ කතෝලික දහම ඉගැන්නුවෙ නෑ. කොටින්ම බුද්දාගම පීරියඩ් එකේ කතෝලික ලමයින්ට යන්න වෙන තැනක් තිබුනෙත් නෑ. ගුරුවරු කිව්වෙ අන්ය-ආගමික දරුවන්ට ඒ වෙලාවෙ වෙන මොනවා හරි වැඩක් කර ගෙන ඉන්න කියලා. බර්නාඩ් සිස්යයාත් මුලින් කලේ ඒක තමයි. හැබැයි කන්දෙක ඇස්දෙක පියා ගන්න බැරි නිසා බුද්දාගම ගැන ගුරුවරු උගන්නපු දේවල් ඔහේ ඔලුවට ගියා. නිකම් හරියට මහ වැස්සක් වහින කොට එලියෙ නිකම් දාලා තියෙන හැලි වලං වලත් වතුර පිරෙනවා වාගේම.

හතේ පන්තියෙදිද කොහෙද වාර විභාගෙ දවසක බර්නාඩ් සිස්යයා නාඳුනන ගුරුවරියක් ඔහුට වැරදිලා බුද්දාගම ප්‍රස්න පත්තරයක් දුන්නා. “මැඩම්, මං කතෝලික…” කියන්න කලින් ගුරුවරිය ගිහිනුත් ඉවරයි.

වෙන කරන්න දෙයකුත් නැති නිසා බර්නාඩ් සිස්යයා දන්න හැටියට බුද්දාගම ප්‍රස්න පත්තරේට උත්තර ලිව්වා.  

යකඩො, වාර විභාගෙ ලකුනු ආවාම කතෝලික බර්නාඩ් සිස්යයා පන්තියේ තුන්වනි තැනට ලකුනු අරගෙන බුද්දාගමට!

එදා ඉඳන් බර්නාඩ් සිස්යයා වෙර වීරිය යොදලා බුද්දාගම ඉගෙන ගත්තා. සාමාන්ය පෙලට ආනන්දෙන් කතෝලික දහම කරන්න නුදුන්නු නිසා බුද්දාගම විසයට පෙනී හිටියාත් කියමුකො. ඒකට විසිස්ට සාමාර්තයකුත් තියෙනවා.

මේ හන්දා බර්නාඩ් දේවගැතිතුමාට කතෝලික දහම හා බුදු දහම ගැන තුලනාත්මකව බලලා අදහස් ප්‍රකාසනයක් කරන්න පුලුවන් බවයි කවුරුත් කිව්වෙ. විසේසයෙන්ම එතුමා නිතර සහභාගි වුනු ගුවන් විදුලි, රූපවාහිනී වැඩසටහන් වලදි එවැනි අදහසක් පලවුනා, මහත්වරුනි.  

මෙන්න මේ බ්‍රදර් බර්නාඩ්ට තමයි, මේ අවස්තාවේ සිරිසේන මහත්තයා තමන් කරන්න හිතේ තියාගෙන හිටපු මහා ලොකු රීසර්ච් ප්‍රොජෙක්ට් එක ගැන විස්තර කරමින් උන්නේ.

සිරිසේන මහත්තයාට උවමනා වෙලා තිබුනේ ‘ආගංගොඩ’ ගමේ ඉතිහාස කතාව විශ්වයේ ආරම්භ වුනේ කවදා ඉඳන්ද, එදා ඉඳන්ම පටන් අර ගන්න. අන්නේමයි එයාගෙ වැඩ.

ඔහු තමන්ගෙ මහාර්ග පොතේ, තවම නොලියපු, පලමු පරිච්චේදය බ්‍රදර් බර්නාඩ්ට ඇහෙන්න හයියෙන් කියෙව්වා.

“ආරම්භයේ දී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවූ සේක. පොළොව හිස් ව පාළු ව තිබිණි. මහ සයුර මත අන්ධකාරයක් විය. දේවාත්මානුභාවය ජලය මතු පිට හැසුරුණේ ය. එවිට දෙවියන් වහන්සේ, ”ආලෝකය වේ වා!”යි වදාළ සේක; ආලෝකය විය. ආලෝකය මනහර බව උන් වහන්සේ දුටු සේක. උන් වහන්සේ අන්ධකාරයෙන් ආලෝකය වෙන් කර ලෝකයට ”දවාල” කියා ද, අන්ධකාරයට ”රාත්‍රිය” කියා ද නම් තැබූ සේක. සවස ගත විය, උදය උදා විය, ඒ පළමු වන දවස ය.

ඉන්පසු දෙවියන් වහන්සේ, ”ජලය ස්ථාන දෙකක වෙන් වෙන් ව පවතින පිණිස එය වෙන් කරන අහස් කුස වේ වා!”යි වදාළ සේක. එසේ ම විය. මෙසේ උන් වහන්සේ අහස් කුස සාදා, ඊට යටින් තිබෙන ජලය, ඊට උඩින් තිබෙන ජලයෙන් වෙන් කර ‍‍‍‍අහස් කුසට ”අහස” කියා නම් තැබූ සේක. සවස ගත විය, උදය උදා විය, ඒ දෙ වන දවස ය.

ඉන්පසු දෙවියන් වහන්සේ, ”ගොඩබිම මතු වන පිණිස අහස යට තිබෙන ජලය එක තැනකට රැස් වේ වා!”යි වදාළ සේක. එසේ ම විය. ගොඩබිමට ”පොළොව” කියා ද, ජලයට ”සාගරය” කියා ද උන් වහන්සේ නම් තැබූ සේක. එය මනහර බව උන් වහන්සේ දුටු සේක.

පසු කලෙක ආගංගොඩ ග්‍රාමය බවට පත්වන්නේ මෙසේ දෙවියන් වහන්සේ සිය තුන්වන දවසේදී මැවූ පොළොවේ යම් කිසි කොටසකින් නිපන් බිමකි. මැවූ අලුත පවා මේ බිම් කඩ ස්වකීය තේජස හාත්පස විහිදුවමින් ගාම්භීරව නැඟී සිටියේය.”

අර තුලනාත්මක අවබෝදයද මොකද්ද ලබලා තිබුනු නිසා බ්‍රදර් බර්නාඩ්ට මේ වෙලාවෙ ඇතිවුනේ හැඟීම් දෙකම දෙකයි.

  1. එක්කො මේ යකාට ඇත්තටම පිස්සු. (උදේ පාන්දර සිරිසේන මහත්තයා ගංජා උරන්නෙ නැති බව බ්‍රදර් බර්නාඩ් දැනගෙන හිටියා.)
  2. නැත්නම් මේ යකා මාව බයිට් එකට ගන්න බලනවා

“ඉතිහාස පොත් ඔහොම ආගමික කතාන්තර වලින් ආරම්බ කරන සිරිතක් නෑ, ගිරාම සේවක මහත්තයා. ඒවා ආරම්බ කරන වෙනම විදියක් තියෙනවා…”

බ්‍රදර් බර්නාඩ් දන්න සිංහලෙන් කිව්වා.

සිරිසේන මහත්තයා එහෙම අනුන් කියන දේවල් පිලි ගන්න කෙනෙක් හෙම නෙවෙයි, දෙවියන්ගේම නියෝජිතයා වුනත්. අනේ එහෙම පිලි ගන්න කෙනෙක් වුනා නම් ඒ කාලෙම දෙමාපියන්ගෙ කීමට ජයන්ති මැනිකේව අමතක කරලා වෙන ගෑනු කෙනෙක් එක්ක විවාහ වෙලා.

බ්‍රදර් බර්නාඩ් කොයිතරම් මහන්සි වෙලා උත්සාහ කලත් සිරිසේන මහත්තයා තමන්ගෙ මතය වෙනස් කලේ නෑ. ඔහුට අවශ්ය වුනා ඈත අතීතයේ උප්පත්ති කතාවේ පටන්ම ආගංගොඩ ගමේ කතාව කියාගෙන යන්න.

ඒ එක්කම කියන්නෝනැ, මේ කතාව බයිබලයෙන් ආරම්බ වුනේ ආගමික අර්තයකින් නෙවෙයි කියන එකත්. මං කලින් කිව්වනෙ සිරිසේන මහත්තයාට අවස්ය වුනේ මහා පිපිරුම් න්‍යායෙන් පටන් ගන්න වුනත් ඒක නොවුනේ ඒ මල ඉලව්ව ඔහුට නොතේරුනු හන්දා කියලා. දෙවියන් වහන්සේ ලෝකය මැව්වා කිව්වාම ඒක සරලයි. කාටත් තේරුම් ගන්න පුලුවන්. තමන්ගෙ ආගංගොඩ ගම දෙවියන් වහන්සේ මැවූ බිම් කඩෙහිම කොටසක් වීම කොයි තරම් ආඩම්බරයක්ද?

සිරිසේන මහත්තයා වෙනස් නොවුනත් එදා බ්‍රදර් බර්නාඩ් වෙනස් වුනා. ඔහු නැවත පල්ලියට යමින් ගමනේ ඔහුගෙ හිතේ තිබුනේ මේ වගේ සිතුවිලි සමුදායක්.

  1. ආගංගොඩ කියන්නෙ ලංකාවෙ පැරනිම කිතුනු ගමක්.
  2. අපේ පල්ලිය කියන්නෙ, පුරුතුගීසි යුගය දක්වා දිවෙන, ලංකාවෙ පැරනිම කිතුනු පල්ලියක්.
  3. ස්වර්ගයේ වෙසෙන පියානෙනි, කවුරුවත්ම අපේ ගමේ ඉතිහාසය මෙච්චර කල් නොලිව්වෙ මන්ද?
  4. දැන් ඔබ වහන්සේ මගෙන් බලාපොරොත්තු වෙන්නෙ අර බැල්ලිගෙ පුතා අපේ ගමේ ඉතිහාසය කියලා වෙන මඟුලක් ලියලා ඒක විනාස කරන කල් බකං නිලාගෙන ඉන්න එකද?

බ්‍රදර් බර්නාඩ් හිතුවෙ ‘බැල්ලිගෙ පුතා’ කියලා නෙවෙයි වෙන වචනයක්. ඒක එහෙමම කියන එක හරි නැති නිසයි මම සැර බාල කරලා ලිව්වෙ.

ඇත්තම කියනවා නම් ආගංගොඩ කියන්නෙ ලංකාවෙ පැරනිම කිතුනු ගමක් වත්, කොටින්ම කියතොත් කිතුනු විතරක් ගමක් වත් නෙවෙයි. ආගංගොඩ කිතුනු ජනගනහනට වැඩි වයසක් නෑ. ඔය පල්ලියත් ඒ තරම්ම පැරැනි නෑ. හැබැයි එහෙම තමයි බ්‍රදර් බර්නාඩුයි ආගංගොඩ කිතුනුවොයි හිතාගෙන හිටියෙ.

ස්වර්ගයේ වෙසෙන අපේ දෙව් පියානෙනි, ඔවුන්ගේ නොදන්නාකමට අනුකම්පා කල මැනව!

බ්‍රදර් බර්නාඩ් එදා රෑ බොහෝ කල් වනතුරු කල්පනා කරමින් සිටියා. ඔහු නිදන්න යන්න කලියෙන් තමන්ගෙ පරිගනකයෙ අලුත් ෆෝල්ඩර් එකක් ඕපන් කලා, මෙහෙම.

>history_of_aagangoda

(තුන්වැනි කොටසට…)

Posted in Non classé | 3 Comments

එක (1) කොටස : සිරිසේන මහත්තයාගේ රීසර්ච් ප්‍රොජෙක්ට් එක

village-painting-india

පහුවෙනිදා හෙනහුරාදා.

සිරිසේන හිටපු ගිරාම සේවක තුමා තමන්ගෙ රීසර්ච් ප්‍රොජෙක්ට් එක පටන් ගන්න කල්පනා කොරපු සුභ දවස තමයි ඒ.

සිරිසේන මහත්තයා පිළිවෙලකට වැඩ කරන්න නම් දරාපු මනුස්සයා. ඒකට අවුරුදු විස්සකට ආසන්න කාලයක් ගිරාම සේවක පදවිය දරලා ඇති වෙච්චි පුහුනුවත් යම් පමණකට බලපාන්න ඇති. හැබැයි ඊටත් කලියෙන් ඉස්කෝලෙ යන කාලෙත් සිරිසේන මහත්තයා පාසලේ සංගම් ගණනක වැඩ කරලා අත්දැකීම් තිබුණා.

“ආගංගොඩ ගමේ ඉතිහාසය”

මාස ගණනකට ඉස්සර D උපනගරයේ කාර්ගිල්ස් එකෙන් ගත්තු ප්‍රෝමේට් පිටු 200 තනිරූල් සී.ආර්. පොතකට බ්‍රවුන් පේපර් කවරයක් හෙම දාලා ලස්සන ලොකු අකුරින් ලියලා තිබුණා.

සිරිසේන මහත්තයාගෙ අකුරු ලස්සනයි. ඒ හන්දා තමයි ඔහු ලිපි ගොනුවක වුනත් මුල් පිටුවෙ විෂය, විවෘත කළ දිනය වගේ කරුනු කාරණා කොම්පියුටර් ප්‍රින්ට් එකක් අරගෙන අලවන්නෙ නැතුව අතින්ම ලිව්වෙ. ඉහළ නිලදාරීන් පවා ඒකට දොස් කිව්වෙ නෑ.  

සිරිසේන මහත්තයාගෙ අකුරු ලස්සන වුනේ ජයන්ති මැනිකෙ නිසා. ජයන්ති මැනිකෙගෙ අත් අකුරු මුතු ඇට වගෙයි. බලන්න ලස්සනයි. ඒ දවස් වල කොල්ලො කිව්වෙ ඒ අකුරු දිහා බලාගෙන සමාදියකට සම වැදෙන්න පුලුවන් කියලා. ඇත්තටම කොල්ලො කිව්වෙ සමාදියකට සම වැදෙන්න පුලුවන් කියලා නෙවෙයි වෙන කුනුහරුපයක්. ඒක එහෙමම ලියන්න බැරි නිසයි මම මෙහෙම ලිව්වෙ.   

සිරිසේන මහත්තයා කොපි කලේ ඒ මුතු අකුරු. සිරිසේන මහත්තයා හැමදාමත් ඒ අකුරු වලට ආදරය කලා.    

සිරිසේන මහත්තයා හෙනහුරාදා උදෙන්ම නැඟිටලා නා කියාගෙන තමන්ගෙ කාර්යයට අත ගහන්න ලැහැස්ති වුනා. හැමදාම උදේ නාන කාමරේදි සිරිසේන මහත්තයා තමන්ගෙ අත එක්ක කරන ලොකු ගනුදෙනුවක් තියෙනවා. අවිවාහකයනෙ. ඒ මිනිත්තු දහය පහලොව තමයි සිරිසේන මහත්තයගෙ පූර්න ලිංගික ජීවිතය. ඔහු ඒ කටයුත්ත හැමදාමත් කලේ ලොකු භක්තියකින්. හැබැයි කවමදාවත් ඒ සම්පූර්න කාලය තුල ජයන්ති මැනිකෙගෙ රුව සිරිසේන මහත්තයගෙ මනසට ආවෙ නෑ. සිරිසේන මහත්තයා ඒක කලේ මාලිනී පොන්සේකා හිතින් මවාගෙන.

  • උදුම්බරා හිනහෙනවා, හිනැහෙනවා 
  • ඉර අවරට හැංගෙනවා…හැංගෙනවා…
  • දස දහසක් සම් මස් ඇට
  • දස දහසක් සම් මස් ඇට
  • ගිනිගෙන රත් වූ දවසක් සැනහෙන එක හැන්දෑවක…

සිරිසේන මහත්තයාගෙ උදෑසන වතාවත් වලට ආගමික අංගයක් නම් කවදාවත්ම එකතු වෙලා තිබුනෙම නෑ.

සිරිසේන මහත්තයා උපතින් බවුද්දයා. හැබැයි ඔය කොයි කොයි ආගමත් එක්කත් ගනුදෙනු කරලා බුදු හාමුදුරුවො, යේසුස් වහන්සේ, සිව-කතරගම-විස්නු දෙවියන්, මහම්මත් තුමා වගේ හැමෝම සිරිසේන මහත්තයට බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාන මිත්‍රයො ගානයි.

හැන්දෑවට කංසා උගුරක් ඇදපු වෙලාවක ඔය කට්ටිය නිතර ඔහුට මුණ ගැහුනා.

“අයිසෙ සිරිසේන… අපිට තුන්සිය හතර අතක් ගහන්න කෙනෙක් අඩුයි. පොඩියකට එන්න බැරිද?”

“අනේ බෑ යේසුස් වහන්සෙ, මට අද මහම්මත්තුමායි ගන දෙවියොයි එක්ක ෆීල්ඩ් විසිට් එහෙකට යන්න තියෙනවා…”

ඔන්න ඔහොමයි එයාගෙ වැඩ.

කතාව දිගැහෙන නිසා ඒ විස්තරේ එතැනින් නතර කොරමු මහත්වරුනි.

සිරිසේන මහත්තයට ඕනැ වුණේ ආගංගොඩ ගමේ විස්තරය මුල ඉඳලා ලියලා තියන්න.

සිරිසේන මහත්තයා සීනියර් පන්තියෙදි “ගම් පෙරලිය” කියවලා තිබුනා. මාර්ටින් වික්‍රමසිංහ උන්නැහේ ගම් පෙරලිය ආරම්බ කරන්නෙ කොග්ගල ගමේ ප්‍රාග් ඓතිහාසික අවදියට ගිහිල්ලා, කොරල් පරයක්ද මොකද්දෝ එකක් ගැන හෑල්ලක් ලියලා කියලා ඔහුගේ මතකයෙ යන්තමට දෙයක් සටහන් වෙලා තිබුනා.

අපේ ගම ඇති වුනේ කොහොමද, අපේ ගම ඇති වෙන්න කලින් ඒ ගම පිහිටි මහපොලොව ඇති වුනේ කොහොමද, මහපොලොව ඇති වෙන්න කලින් විශ්වය ඇති වුනේ කොහොමද?

සිරිසේන මහත්තයා කල්පනා කලා. ඇත්තටම මේ ප්‍රශ්න සිරිසේන මහත්තයගෙ ඔලුවට ආවෙ ප්‍රොජෙක්ට් එක පටන් ගත්තු අද තමයි. ඔහු කොයි තරම් අවංක රජයේ නිලදාරියෙක්ද කියනවා නම් ගිරාම සේවක කාලයේ ඒ රැකියාවේ කාරනා කටයුතු කරාන හිටියා මිසක්කා මේ දේවල් ගැන හිතන්න රාජකාරි වෙලාව නිකරුනේ වැය කලේ නෑ.  

සිරිසේන මහත්තයා සීනියර් විභාගයට කලා විෂයන් කලාට පත්තරයක් එහෙම කියවන යමක් කමක් දන්න මනුස්සයා. විශ්වයේ උපත ගැන කියන මහා පිපිරුම් න්‍යාය ගැන ඔහු දැනගෙන හිටියා. හැබැයි සිරිසේන මහත්තයාට කවදාවත්ම ඒ වඳුරු කුනුහරුපය තේරුනේ නෑ. කොහොමද ඉතාම කුඩා අවකාශයක හිර වෙලා තියෙන ද්‍රව්‍යය මහා පිපිරුමකින් විශ්වය බවට පත් වෙන්නෙ? ඔය හැම දෙයක්ම අර තිතක් වගේ පුංචි අවකාශයට ගොනු වුනේ කොහොමද? එහෙම වෙන්න පුළුවන්ද? මේවා නිකම්ම නිකම් කතන්දර නේද?

සිරිසේන මහත්තයා මෙහෙම අහස පොලොව ගැටලන්නහෙ කල්පනා කොර කොර ඉන්න කොට කවුදෝ අවිල්ලා ගෙදර දොරට තට්ටු කලාය කියමුකෝ.

ඒ ඇවිලා හිටියෙ පල්ලියේ සුවාමි. බ්‍රදර් බර්නාඩ්.

(දෙවන කොටහට…)

Posted in Non classé | 1 Comment

බින්දුව (0) කොටස: සිරිසේන මහත්තයා රස්සාවෙන් අස් වෙයි!

1460694538

“මෙච්චරක් අපූරු, මාසෙ පඩියක් ගන්න, ස්තිර ආන්ඩුවේ රස්සාවක් දාල යන්න හිටං තමුන්ට මොලේ අමාරුවක් තියෙයියැ?”

පහයාලනවැව දිසාපතිතුමා ඇහුවය කියමුකො.

පහයාලනවැව දිසාපතිතුමා කොටයි. එතුමාගෙ මේසය ඕනෑවටත් වැඩිය උසයි. ඒ හන්දා ඉස්සරහින් ඉඳගෙන හිටිය, ඒ වාගේම කොට, සිරිසේන මහත්තයට පෙනුනේ එතුමාගෙ ඔලුව විතරයි. ඒ රවුම් ඔලුව ඔරලෝසුවේ බට්ටා අනෙක් පැත්ත ගහලා වාගෙ වමට දකුනට වැනුනා.  

සිරිසේන ගිරාම සේවක මහත්තයා එක වංගියට උත්තරයක් දුන්නෙ නෑ. තමුන් කියන්න යන බොරුව ඕනෑවට වඩා අදින්න ගියොත් හබක් වෙන්න ඇහැකි කියලා එයාට කලින්ම හිතිලයි තිබුනේ. ඇත්ත දන්නවා නම් දිසාපතිතුමා කවදාවත් අස්වෙන්න ඉඩ නොදෙන බව සිරිසේන මහත්තයා දැනගෙන හිටියා. සිරිසේන මහත්තයා අවංක කාර්ය සූර නිලදාරියෙක් බව පහයාලනවැව දිසාපතිතුමා දන්නවා.

පහයාලනවැව දිසාපතිතුමාත් කොට උනාට සූරයා. බුල්ඩෝසරයක් වගේ තමයි වැඩ. ගෝටාබය සෑර්ගෙ එක අච්චුවෙ. හිතුවද, ඒක කොලා.

දවසක් උදේ පාන්දර කච්චේරියට යන වංගියක සිරිසේන මහත්තයා අත, පරන යාලුවෙක් තන්තෝසෙට දීපු අරක්කු කාලෙ බෝතලයක් තිබුණා. ඔව්ව අරගෙන කච්චේරියට ගියෑකියැ. සිරිසේන මහත්තයා ඒක කච්චේරියෙ අන්දර වැටේ හංගලා ගියා කාටවත්ම හොයා ගන්න බැරි විදියට.

හෝරා කීපයක් ගත කොරලා වැඩ ටික ඉවර කොරගෙන සිරිසේන මහත්තයා කච්චේරියෙන් එලියට බැස්සා.

යකඩො, අන්දර වැට නෑ!  

පහයාලනවැව දිසාපතිතුමාගේ අන පරිදි අන්දර වැට කපලා, අගලුත් කපලා බාස්සුන්නැහේලා තාප්පෙකට පවුන්ඩේසම දානවා කියමුකො. දැන් ඉතින් අරක්කු කාල කොහේ කියලා හොයන්ටයැ. සිරිසේන මහත්තයා ඔන්නොහෙ කියලා ඒකට තිබුණු ආසාව අත ඇරලා දැම්මා.    

“ඇත්තටම මොකද තමුන් අස්වෙන්න හේතුව?”

දිසාපතිතුමා ආයෙත් ඇහුවා. ඔහොම නෙවෙයි, ගැඹුරු හඬින්. කෙනෙක් ගැඹුරු හඬින් අහන ප්‍රස්නයක් ලියනකොට ලියන්නෙ කොහොමද මට තේරෙන්නෙ නැති නිසයි එහෙම ලිව්වෙ.

“මට ගමේ යූ ඇම් පී කාරයින්ගෙන් අමාරුයි සර්…”

ඒකට නම් පහයාලනවැව දිසාපතිතුමා තර්ක කරන්න ගියේ නෑ. සිරිසේන මහත්තයා උපන්දා ඉඳං සිරිලංකා කාරයා. කැපුවත් නිල් පවුලක වැඩිමලා. යූ ඇම් පී කාරයෝ හැමදාමත් සිරිසේන මහත්තයාට විරුද්දකම් කොලා. පොඩි පොඩි දේවල් නෙවෙයි මහ බයානක කැත වැඩ. දිසාපතිතුමා ඒ හැම දෙයක්ම දන්නවා.  

පහයාලනවැව දිසාපතිතුමා මේ තීරනයට විරුද්ද නොවුනු අනෙක් හේතුව තමයි ඉන්තේරුවෙන්ම සිරිසේන මහත්තයා තනිකඩයා බව දැන සිටීම.

සිරිසේන මහත්තයා කවමදාවත් විවාහ වුනේ නෑ. පාසල් යන දවස් වල සීනියර් පංතියෙදි ඔය ජයන්ති කියලා ගෑනු ලමයෙක් එක්ක මොකද්ද පලහිලව්වක් තිබුනාලු. ඒක හරි ගියේ නෑ. ඒ කතාව ඔහේලට දැන ගන්නම ඕනැම නම් ගොලු හදවත පොතේ දම්මි-සුගත් වෙනුවට ජයන්ති-සිරිසේන කියලා නම් මාරු කරගෙන කියවන්න. මං මොටෝ වචන නාස්ති කරන්නෙ තව?

හැබැයි විවාහ නොවුනාය කියලා සිරිසේන මහත්තයට ඔය වෙන මනුස්සයින්ට වගේ හොර ගෑනු, ගැටව් එක්ක ගනුදෙනු වගේ අනම් මනම් තිබුනෙත් නෑ. සුද්දගෙ බාසාවෙන්ම කිව්වොත් සිරිසේන මහත්තයා සුපිරිසිදු චරිතයෙන් යුතු “පෝටි ඉයර් ඔල්ඩ් වර්ජින්” කෙනෙක්. අඩුත් නෑ. වැඩිත් නෑ. සිරිසේන මහත්තයාගෙ ජීවිතය වුනේ රැකියාව රැකියාව හා රැකියාව.  

මේ කතා දන්න නිසාම දිසාපතිතුමා සිරිසේන මහත්තයාගේ තීරනය වෙනස් කරන්න ලොකුවටම උත්සාහයක් ගත්තෙ නෑ.

“තමුන්ට අවස්යමනං ඉතින් මං මේ ලියුම බාර ගන්නං, හැබැයි රජෝ තමුන් කවදා හරි මේ ගැන පසුතැවෙන බව මම හොඳින්ම දන්නවා…”

පහයාලනවැව දිසාපතිතුමා අන්තිමට අස්වීමේ ලියුම බාර ගන්න ගමන් කිව්වා.

සිරිසේන මහත්තයා මිටෙන් හල කුරුල්ලෙක් වගේ සැහැල්ලුවෙන් ගෙදර ගියා.

හෙට ඉඳලා පටන් ගන්න බලාපොරොත්තු වුනු  රීසර්ච් ප්‍රොජෙක්ට් එකක පිඹුරු පත් ඔහු බොහෝ කාලයකට කලියෙන් ඇඳලයි තිබුනෙ.

(පලවන කොටහට…)

Posted in Non classé | 1 Comment

පහුබිම

308919-alexfas01

“ආගංගොඩ” ඇවිල්ලා ලංකාවෙ A කියන දිස්තිරික්කෙ B කියන ප්‍රාදේසීය ලේකං කොට්ටාසෙ C කියන ගිරාම සේවක වසමට අයිති ගමක්. ඔහෙලට ඕනම නං ඉතිං ඔය A, B, C කියන එව්වට ගැලපෙන නමක් දෙකක් කාරිය දාගත්තෑකි. හැබැයි මක්කටෙයි කරදර වෙන්නෙ, ඔය වාගෙම ගං අටෝ රාසියක් මේ පුංචි රටේ තියෙනකොට?

මේ ගමට “ආගංගොඩ” කියන නම හැදුනෙ කොහොමද කියලා කවුරුත් දැනගෙන හිටියෙ නෑ. කොටින්ම මේ ලියන, ලියන මහත්තයා වන, මට වත් උත්තර දෙන්න ඇහැකි පුරස්නයක් නෙවෙයි ඒක.  

හැබැයි මේ ගමට “ආගංගොඩ” නම නං අපූරුවට ගැලපුනා කියමුකො. ආගම්-ගොඩාක් තියෙන ගමකට වෙන මක්කා කියන්ටයැ? මේ ගමේ හිටියා අඩු වැඩි වසයෙන් ආගං හතරක් අදහපු මිනිස්සු. වැඩේ කියන්නෙ හරියට පැලෑන් කොරලා ගස් හිටෙව්වා වගේ එක එක ආගම අදහපු පිරිස දල වසයෙන් සමානයි. එහෙම ගම් තියෙන්න අමාරුයි තමයි, ඒත් බැරිම නෑ.    

මේ එක එක ආගම අදහන ජහ මනයාගේ අව්ස්යතාවය පරිදි බවුද්ද ආරාමයකුත් (සජ්ජනාරාමය), සිව දේවාලයකුත්, කතෝලික පල්ලියකුත්, ඉස්ලාම් පල්ලියකුත් ගමේ තැන් තැන් වල ඉදිවෙලා තිබුණා. (ගමේ සිතියමක් හෙම පහු පහු වෙනකොට දෙන්න බලඤ්ඤංකො.) නොතිබුනේ අර සික් කාරයින්ගෙ ගුරුදුවාරයක්ද මොකද්ද කියලා කියන එහෙකුයි, යුදෙව්වන්ගෙ සිනෙගොග් එහෙකුයි විතරයි.  

මේ සිංහල බවුද්ද රටේ මොනයම්ම හෝ ගමක පන්සලක් තියෙන එක අරුමයක් නෙවෙයිනෙ. හැබැයි අනෙකුත් හැම ආගමික ඉස්තානයක්ම ඇති වුණේ විසේස හේතුවක් මත. ඒ තමා මේ ගම මුහුදු සීමාවට ඉතාම කිට්ටුවෙන් පිහිටි එකක් වීම. විඩින් විඩේ අරාබි කාරයො, දෙමලු, පරංගි ඇවිත් ගමේ සිංහල මිනිස්සු එක්ක මුහු වෙලා මේ එක එක ආගමික ජනකොට්ටාස හැදුනා කියලා තමයි මේ ගම ගැන ආචාර්ය රාජ් සෝමදේව මහත්තයා ලියපු සාස්ත්‍රීය ලිපියක සඳහන් වෙලා තිබුනය කියන්නෙ.

“ආගංගොඩ” කියන්නෙ මේ ගම ගැන කතාව….

ඒක පටන් ගන්නේ සිරිසේන ගිරාමසේවක මහත්තයා අස්වීමේ ලිපිය දුන්නු අව්ස්තාවේ ඉඳන් වුනත් මේ කතාව උතුරට, දකුණට, උඩට, පහලට, අතීතයට, අනාගතයට, කොටින්ම චතුර්මානයන් ඔස්සේම දුවන්න ඇහැකි ජාතියෙ එකක්… ඔහෙ දුවපු දෙන්. මට කුරහන් තලපයැ!

Posted in Non classé | 3 Comments