පහුබිම

“ආගංගොඩ” ඇවිල්ලා ලංකාවෙ A කියන දිස්තිරික්කෙ B කියන ප්‍රාදේසීය ලේකං කොට්ටාසෙ C කියන ගිරාම සේවක වසමට අයිති ගමක්. ඔහෙලට ඕනම නං ඉතිං ඔය A, B, C කියන එව්වට ගැලපෙන නමක් දෙකක් කාරිය දාගත්තෑකි. හැබැයි මක්කටෙයි කරදර වෙන්නෙ, ඔය වාගෙම ගං අටෝ රාසියක් මේ පුංචි රටේ තියෙනකොට?

මේ ගමට “ආගංගොඩ” කියන නම හැදුනෙ කොහොමද කියලා කවුරුත් දැනගෙන හිටියෙ නෑ. කොටින්ම මේ ලියන, ලියන මහත්තයා වන, මට වත් උත්තර දෙන්න ඇහැකි පුරස්නයක් නෙවෙයි ඒක.  

හැබැයි මේ ගමට “ආගංගොඩ” නම නං අපූරුවට ගැලපුනා කියමුකො. ආගම්-ගොඩාක් තියෙන ගමකට වෙන මක්කා කියන්ටයැ? මේ ගමේ හිටියා අඩු වැඩි වසයෙන් ආගං හතරක් අදහපු මිනිස්සු. වැඩේ කියන්නෙ හරියට පැලෑන් කොරලා ගස් හිටෙව්වා වගේ එක එක ආගම අදහපු පිරිස දල වසයෙන් මුලු ජනගහනයෙන් සියේට විසි පහක්. බවුද්ද සියේට 25 යි. හින්දු සියේට 25 යි. කතෝලික/ක්රිස්තියානි සියේට 25 යි. ඉස්ලාම් සියේට 25 යි.   

මේ එක එක ආගම අදහන ජහ මනයාගේ අව්ස්යතාවය පරිදි බවුද්ද ආරාමයකුත් (සජ්ජනාරාමය), සිව දේවාලයකුත්, කතෝලික පල්ලියකුත්, ඉස්ලාම් පල්ලියකුත් ගමේ තැන් තැන් වල ඉදිවෙලා තිබුණා. (ගමේ සිතියමක් හෙම පහු පහු වෙනකොට දෙන්න බලඤ්ඤංකො.) නොතිබුනේ අර සික් කාරයින්ගෙ ගුරුදුවාරයක්ද මොකද්ද කියලා කියන එහෙකුයි, යුදෙව්වන්ගෙ සිනෙගොග් එහෙකුයි විතරයි.  

මේ සිංහල බවුද්ද රටේ මොනයම්ම හෝ ගමක පන්සලක් තියෙන එක අරුමයක් නෙවෙයිනෙ. හැබැයි අනෙකුත් හැම ආගමික ඉස්තානයක්ම ඇති වුණේ විසේස හේතුවක් මත. ඒ තමා මේ ගම මුහුදු සීමාවට ඉතාම කිට්ටුවෙන් පිහිටි එකක් වීම. විඩින් විඩේ අරාබි කාරයො, දෙමලු, පරංගි ඇවිත් ගමේ සිංහල මිනිස්සු එක්ක මුහු වෙලා මේ එක එක ආගමික ජනකොට්ටාස හැදුනා කියලා තමයි මේ ගම ගැන ආචාර්ය රාජ් සෝමදේව මහත්තයා ලියපු සාස්ත්‍රීය ලිපියක සඳහන් වෙලා තිබුනය කියන්නෙ.

“ආගංගොඩ” කියන්නෙ මේ ගම ගැන කතාව….

ඒක පටන් ගන්නේ සිරිසේන ගිරාමසේවක මහත්තයා අස්වීමේ ලිපිය දුන්නු අව්ස්තාවේ ඉඳන් වුනත් මේ කතාව උතුරට, දකුණට, උඩට, පහලට, අතීතයට, අනාගතයට, කොටින්ම චතුර්මානයන් ඔස්සේම දුවන්න ඇහැකි ජාතියෙ එකක්… ඔහෙ දුවපු දෙන්. මට කුරහන් තලපයැ!