ගරුතර මහා සංඝරත්නයෙන්ද, අන්‍යාගමික පූජක තුමන්ලාගෙන්ද අපේ සියළු ගරු කටයුතු පාඨක පිරිසෙන්ද අවසරයි. ලියන මහත්තයා වන මම අද මෙතැනට පැමිණියේ ආගංගොඩ ග්‍රාමයේ කථාන්තරයේ තවත් ත්‍රාසජනක, ලොමු දැහැ ගැන්වෙන, රුධිර පීඩනය 150/95 ට නගින පරිච්ඡේදයක් ඔබට ඉදිරිපත් කිරීමටයි.
මහත්වරුනි ඔබ තමුන්නාන්සේලාට මතක ඇතැයි හිතනවා අපි පහුගිය චැප්ටර් එකේ කතා කළේ ගෝටයිම්බර යෝධයාගේ ගන්ධබ්බයා සියවස් ගණනාවකට පසුව මනුෂ්‍යාත්මයක් ලබාගෙන පූජ්‍යපාද කොකාගම ජිනරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමින් විචිත්‍ර ධර්ම කථිකයකු සේ ප්‍රසිද්ධියක් ලබා ගන්නා සමයෙහි එය කණ වැකුණු, ආදියෙහි ගෝටයිම්බරයා අතින් හිස වෙන්ව වලස් හිසක් ඇතුව සරණ රිටිගල ජයසේනයාගේ රකුසු ඇස් ක්‍රෝධයෙන් බරව රතු වූ ආකාරය.
රතුම රතු පාට වුණා!
ඔය ක්‍රෝධය කියන ප්රපංචයද මොකද්ද එක ධම්මපදයේ විස්තර කෙරෙන්නේ මෙන්න මෙහෙමයි.
යෝ වේ උප්පතිතං කෝධං
රථං භන්තංව ධාරයේ,
තම්හං සාරථීං බ්රෑමි,
රසමිග්ගාහෝ ඉතරෝ ජනෝ
යමෙක් තමා තුළ හට ගත් ක්‍රෝධය, දක්ෂ රථාචාර්යයකු නො මග ගිය රථයක් හසුරුවා ගන්නා සේ හික්මවා ගනී ද, ඒ පුද්ගලයා නියම රියදුරෙකැයි කියමි. එ සේ සිත හික්මවා ගත නො හැකි පුද්ගලයා නිකමට තෝන් ලනුව අල්ලන්නෙකැ යි කියමි.
ඒ එක්කම පාඨක මහත්වරුනි ඔබ සිහි තබා ගත යුතුයි මේ සිද්ධි වුණේ විසිවන සියවසේ මුල් භාගයේ 1910 දි විතර. ඔය අද ඉන්න වාසුගෙ පුතාලා සමාවෙන්න මහත්වරුන් නෝනා මහත්වරුන් අර කතාවට කියන්නැහෙ අප්පොච්චිලාගේ ඇට වල සමාවෙන්න ජීව ධාතූන්හි උන්නු සන්දියටත් බොහෝ ඉහත කාලයක බව. කොටින්ම අද ඉන්න බොහෝ උන්දෙලාගෙ අම්මලා අප්පොච්චිලා ඒ කාලේ සීයලාගේ ඇට වල වත් ජීව ධාතූන්හි වත් හිටියෙ නෑ.
ඒ හන්දා මේ කතා වලට ජීවමාන කවුරුවත් සම්බන්ධයි කියලා හේම කලබොල කොරා ගත යුතු නෑ. සියළුම චරිත මනඃකල්පිතයි. ඕං. අම්මපල්ලා.
තමන්ගෙ පරම හතුරා අළුත් ආත්මයක් ලබලා විතරක් නෙවෙයි ඒ ආත්මය තුළ සුවිසාල ජනප්‍රියතාවයක් ලබන්නත් පටන් අරගෙනයි කියලා දැනගත්තු වලස් හිසැති රිටිගල ජයසේනයාට හෙවත් අද අපි භාවිතා කොරන වචන වලින් නම් මහසෝනාට නව දොරින්ම මළ පනින්නට පටන් ගත්තාය කියමුකෝ.
දෙන්නම් ජම්බු!
ඔන්න ඔහොම තමයි මහසෝනා නම් ලද රිටිගල ජයසේනයා කල්පනා කොළේ.
ඔහොම කිව්වාටම ජම්බු දෙන්නත් බෑනෙ. ඉතින් ජයසේනයා තීරණය කොළා පූජ්‍යපාද කොකාගම ජිනරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩ සිටි සජ්ජනාරාමයේ ටික කාලයක් වැඩ වසන්න.
මහසෝනා හෙවත් ජයසේනයා කියන්නෙ යකෙක්.
යකෙක් පන්සලේ නතර වුණාම එක එක අමුතු දේවල් වෙන්න පටන් ගන්නවා.
එක දවසක් බලනකොට පන්සලේ ළිඳේ වතුර වයින් වෙලා තිබුණා. ආගංගොඩ කවුරුවත් ඒ වනතෙක්ම වයින් රහ බලලා තිබුණේ නෑ – පල්ලියේ ෆාදර් ඇරෙන්න. පල්ලියේ ෆාදර් පන්සලට එන එකක්යැ. ඉතින් හැමෝම කල්පනා කොළා ළිඳට මොකෙක් හරි ගොබිලෙක් හැළි අරක්කු හැළියක් අත ඇරලා කියලා. පිනට පහල වෙච්චි හැළි අරක්කු බොන්න දවස තිස්සේම දිග පෝලිමක් තිබුණාලු. බීලා වෙරි වෙලා බණ මඬුවෙ වැටිලා හිටියාත්ලු හැට ගණනක්ම. හැබැයි ඊළඟ දවසේ උදේ කස්ටිය බෝතල් බූලි හෙම අරගෙන එනකොට ළිඳේ වතුර ආයෙත් වතුර වෙලා. අනිච්චේ දුක්කේ සංසාරේ.
මේ මූලික පරීක්සණයෙන් පස්සෙ මහසෝනා හෙවත් ජයසේනයා තීරණය කළා මිනි-යක්කු තුන් දෙනෙක් සජ්ජනාරාමයේ නිදහස් කරන්න. මිනි-යක්කු කිව්වෙ ලොකු යක්කු යටතේ වැඩ කරන පොඩි යක්කුන්ටයි. ලොකු යක්කු ඔය චෝටා චෝටා වැඩ කරන්න නෑ. පොඩි යක්කුන්ට අවුට් සෝස් කරනවා.
මොනවද දන්නවද මේ මිනි යක්කු තුන් දෙනාගෙ නම්?
එකෙක් ‘ලිබරලා’
අනෙකා ‘රැඩිකලා’
තුන් වැනියා ‘ලෙනිනා’
මේ මිනි-යක්කු තුන්දෙනා ටිකෙන් ටික කොකා සාදුගේ ජීවිතේ අවුල් කොරන්න පටන් ගත්තා.
එක දවසක් කොකා සාදු සිවුර නොපොරවා අඳනෙ විතරක් ඇඳගෙන පන්සලේ දොරකොඩට ඇවිත් “ජේසු පිහිටයි, ජේසු පිහිටයි…” කියල කියා පුංචි කේතලේකින් වතුර ඉහ ඉහ හිටියාලු මඟ යන එන්නන්ට. මේ ගැන ආගංගොඩ බෞද්ධයෝ හැබෑවටම විස්මය පත් වුණා.
කතාවක් ගියා මේක කතෝලික පල්ලියෙ අන්තර්ජාතික කුමන්ත්රණයක ප්‍රතිඵලයක් කියලත්. එහෙම ලොකුවට හිතන්න කරුණු කාරණා තිබුණෙත් නෑ. ඒ හන්දා ඒ කතාව එහෙමම යට ගියා. නැත්නම් පල්ලිය ඉස්සරහා අට්ටාලයක් අටවාන උපවාසයක් හෙම කොරන්න බෞද්ධයො සූජානං වෙලා හිටියෙ. එහෙන්නං. බෞද්ධ ලේ කකියනවා බොලේ.
තව දවසක් උන් වහන්සේ මෙන්න මෙහම ධර්ම දේශනයක් කොරනවාලු.
” බෞද්ධ පින්වතුනි, මිනිස් ජීවිතය රැක ගැනීම සඳහා අවශ්‍ය දේ නිපදවීමත් ඊළඟට නිපදවන ලද දේ හුවමාරු කිරීමත් සියලූ සමාජ ව්‍යුහයන් ගේ පදනම වන්නේ යැයිද, මෙතෙක් ඉතිහාසයේ දක්නට ලැබෙන හැම සමාජ ක්‍රමයකම වස්තුව බෙදි යන ආකාරයත්, සමාජය පංතිවලට බෙදෙන ආකාරයත්, තීරණය වූයේ කුමක් නිපදවන්නේද? එය නිපදවන්නේ කෙසේද? හා නිපද වූ දේ හුවමාරු වන්නේ කෙසේද? යන්න අනුව යැයිද, යන සිද්ධාන්ත ඉතිහාසය පිළිබඳ භෞතිකවාදී දර්ශනයේ ආරම්භය වෙයි. බෞද්ධ පින්වතුනි, මේ දර්ශන කෝණය අනුව සියලූ සමාජ විපර්යාස හා දේශපාලන විප්ලව බිහිවීමට තුඩුදුන් මූලික හේතූන් සෙවිය යුත්තේ මිනිසුන්ගේ සිත් තුළ හෝ සදාතනික සාධාරණය හා සත්‍යය පිළිබඳ ඔවුන්ගේ හැඟීම් තුළ හෝ නොව නිෂ්පාදන හා හුවමාරු විධියේ ඇති වූ වෙනස්වීම් තුළය. මේ හේතූන් සෙවිය යුත්තේ දර්ශනයක් තුළ නොව එක් එක් යුගයේ අර්ථ ක්‍රමය තුළය”
(එදා වැහිලා ඉඳලා තියෙන්නෙ ලෙනිනා කියන මිනි-යකා.)
තව දවසක කොකා සාදු දැළි අඟුරු කෑල්ලකින් උඩු රැවුලක් හේම ඇඳගෙන, පරණ තුවායක් කරේ පටලවාන පන්සලේ ජනේලෙක එල්ලිලා ගැඹුරු කට අඬකින් මෙහෙම කියනවාලු.
“දැන් බලන්ඩ අපේ හාන්දුරුවනේ….. අපේ කාලෙ නම් මෙහෙම දේවල් වුණේ නෑ…… දැන් තමයි මේ වගේ විලම්බීත වෙන්නේ….. කොහොමද……? වෙනෂ ෂැපද……? ඔබට ෂතුටුයිද දැන්…?”
පාඨක මහතුනි මෙව්වා කොකාගම ජිනරතන හිමියන්ගේ දුර්වලතා කියලා හිතලා පව් පුරෝ ගන්න එපා. අර මහසෝනාය කියන රිටිගල ජයසේනයා තමයි මේ පෝරිසාද වැඩ කොළේ මිනි-යක්කු තුන් දෙනා ලවා.
විචිත්‍ර ධර්ම කථිකයින් වහන්සේ නමක් වගේම ආගංගොඩ ගමේ බෞද්ධ ප්‍රතිමූර්තිය වූ කොකාගම ජිනරතන හිමියන්ට මේ වුණු ඇබැද්දිය ගැන ආගංගොඩ බෞද්ධයෝ බොහෝම කම්පාවට පත්වුණා. හදිසි රැස්වීමක් කැඳවූ සජ්ජනාරාමයේ දායක සභාව තීරණය කොළා වහාම මෙහෙම ඇබැද්දියක් වෙලා තියෙන්නෙ මොකද කියලා හොයා බලන්න. ඒක කරන්නෙ කොහොමද කියලා දීර්ඝ වාද විවාද පැවැත්වුණා. හැමදාම හැන්දෑවෙ හයට විතර ඇරැඹෙන දායක සභා රැස්වීම් අවසන් වුණේ පහු වෙනිදට එළි වෙන්න වගේ. කොටින්ම දායක සබාවෙ මහත්වරුන්ගෙ බාරියාවන් කොම්ප්ලේන් කොරන්නත් පටන් ගත්තා අහවල් එකේ මකුළු දැල් බැඳෙනවාය කඩලා ඉවරයක් නැතිය මේ වැඩ නිසා කියලා.
මෙවැනි දායක සභා රැස්වීම් ගණනාවක් අවසානයේ බොහෝම අමාරුවෙන් බැස ගත්තු නිගමනය තමයි ජ්‍යෝතිෂයෙහි අග තැන්පත් විද්‍යා සිරෝමණී ආචාර්ය ගුණසේන රුකපතුවිතාන මහත්මයා හමු වෙලා කරුණු කාරණා දැන ගන්න එක.
රුකපතුවිතාන මහත්මයාගෙ නම ගම විස්තර කාරිය දායක සබාව දැන ගත්තේ ‘සිංහල බෞද්ධයා’ පුවත්පතේ තිබුණු දැන්වීමකින්.
විද්‍යා සිරෝමණී ආචාර්ය ගුණසේන රුකපතුවිතාන මහත්මයා පදිංචි වෙලා හිටියෙ ආගංගොඩට මයිල සීයක් විතර ඈත ගමකයි. ඒ හන්දා මේ සාස්තර බලන්න ගිය ගමන දින දෙකක පොඩි ට්‍රිපක් වුණා. ලොරි බාගෙක තමයි දායක සභාව මේ ගමන ගියේ. එන ගමන් යාපහුව හා වාරණ රජ මහා විහාරය වන්දනා කර ගන්නත් කටයුතු පිළියෙළ කරලා තිබුණා. ගමන් වියදම් පිණිස එක් උපාසක මහතකුගෙන් රුපියල් හතකුත් සත විසි පහක් එකතු කෙරුණා. මල් පැණි හේම ගැණුනේ වෙනම ගිණුමකින්.
කොකා සාදුගෙ වේලාපත් කඩත් වෙනත් විස්තරත් බලපු රුකපතුවිතාන මහත්මයා කණේ මයිල් ඇඟිලි දෙකකින් කරකව කරකවා මෙන්න මෙහෙම කිව්වාය කියලයි දායක සභාව වාර්තා කොළේ.
“අනිවා ඩෙෆා මේ සංඝ-බ්‍රෝට වැහිලා ඉන්නෙ මිනි-යක්ස්ලා තුන් දෙනෙක්. මේ පට්ට වාසුගෙ පුතාලා තමයි රැඩිකලයා, ලිබරලයා හා ලෙනිනා. තව කල් ගියොත් ජෝන් සීනාත් වැහෙන්න පුළුවනි. බ්රෝලට සිස්ලට ඥං පචං ගාන්නෙ නැතුව නටන්න වෙනවා දාර තොයිලයක්…”
(නෑ, නෑ, ඔය වචන වලින් නෙවෙයි රුකපතුවිතාන මහත්මයා කිව්වෙ. මං පොඩ්ඩක් බැලුවා අපේ නඟාගෙ පොඩි එකා හෙම වැරදිලාවත් රුකපතුවිතාන මහත්මයා වුණා නම් ඕක කොහොම කියයිද කියලා.)
(විසි හත් වැනි කොටසට…)
මේකත් රුවන් ජයතුංග ගේ මානසික රෝගියා ගේ පරිකල්පනය පොතේ කතාවක් වගේ පේන්නේ
LikeLiked by 1 person
බ්ලොක් වෙන කතා
LikeLike
ha ha මරුය එළය ආතල්ය 🙂
LikeLike