විසි පහ (25) කොටස: රිටිගල ජයසේනගේත් බෙල්ල ගැලැවූ කොකා සාදු

ඝෝඨාභය රාජපස්ස මහත්තයා හීනෙන් පාදුර්භූත වෙලා කරදර කරන්න පටන් ගත්තයින් පස්සෙ සිරිසේන හිටපු ගිරාම සේවකතුමා පත් වෙච්චි මානසික වියාකූලතාවය ගැන ඔබ තමුන්නාන්සේලා කියෙව්වා කියලා හිතනවා. කියෙව්වෙ නැත්නම් ආපහු ගිහින් බලපිය උලමෝ, උලමෙක් වගේ මෙතැන බලාන ඉන්නෙ නැතිව.

ඉතින් බොහෝම අමාරුවෙන් කාල වේලාව හොයාගෙන, පැහැබර උදෑසනක සූර්යයා පෙරදිගින් නැඟ එද්දී පුෂ්ප පිපී මාරුතයේ මකරන්ද ගලා එද්දී සිරිසේන හිටපු ගිරාම සේවක මහත්තයා අර සී-ආර් පොත හොයාගෙන පිටු අංකයක් හෙම දාලා අළුත් පරිච්ඡේදයක් ලියන්න පටන්ගත්තා. කලින් පරිච්ඡේද වලත් ලියවිලා තිබුණේ ඡේදයක් දෙකක් විතරයි තමයි හිටං.

පූජ්‍යපාද පණ්ඩිත කොකාගම ජිනරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ

ආගංගොඩ ග්‍රාමයේ ඉතිහාසයේ එය හෙබවූ වියතුන් අතරින් සූර්යයන් අතර කල්පාන්තයේ සූර්යයා බඳු වියතුන් අතර වියතකු සේ ගිණිය හැක්කේ පූජ්‍යපාද පණ්ඩිත කොකාගම ජිනරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේය. (1875 -1931) බහුශෘත උගතකු සේම විචිත්‍ර ධර්ම කථිකයකු වූ උන්වහන්සේ ගම්වැසියන් අතර ප්‍රචලිත වූයේ “කොකා සාදු” යන කෙටි නමිනි.

හැබැයි මේ කොකා සාදුගෙ භව පුරාණය නම් සිරිසේන ගිරාම සේවක තුමාත් දැන හිටියේ නෑ හිටං.

කොකා සාදුගෙ පෙර ආත්මය තමයි ගෝටයිම්බරයා. ඔව් අර රිටිගල ජයසේන කියලා සෙන්පතියෙකුගේත් බෙල්ල ගැලෙව්වාය කියන්නෙ. අන්න ඌ තමයි.

පුරාණ පොත් වල ඒ කතාව කියන්නේ මෙහෙමයි හිටං.

ගැමුණු රජ්ජුරුවෝ එලාර රජුව පරදලා ජයගත්තට පස්සේ ගෝඨයිම්බර යෝධයා අලුත් නිවසක් තනා ගෙට ගෙවදීම නිමිත්තෙන් ඉතා විශාල උත්සව‍යක් සංවිධානය කරලා ගොඩාක් අයට මේ උත්සවයට ආරාධනා කලා. ඒ අසලින් එදා ගමන් කරපු ආරාධනයකින් තොරව එකවිටම මැදිවිය ඉක්මවු කලු ඇගපත මනාව වැඩුනු පුද්ගලයකු සාදය‍ට පැමිණි අතර ඒ වෙන කිසිවකු ‍නොව නම ඇසු පමණින් බොහෝ දෙනා බිය සලිත වන රිටිගල ජයසේනය. රිටිගල ජයසේන යනු ගැමුණු කුමරුන්ට ජය පතා යක්ෂ සේනාව මෙහෙය වු ඇතුන් දහ දෙනකුගේ ශක්තිය ඇති සේනාධිපති තුමායි.‍‍

ගෝඨයිම්බර ‍සෙනවිත් මේ ජයසේනට සාදයේ හොද හැටි කෑම බීම දී සැලකු අතර මධුවිතෙහි ප්‍රමාණය වැඩි වු විටම සියල්ල අමතක වු ජයසේන එකවිටම සිතට ආ අදහසකට සෝනා කුමරිය වැලද ගත්තේය. එකවරම මෙය දුටු ‍ගෝඨයිම්බර සෙනවියාට තරු විසිවුනු අතර ජයසේනට අසැබි වචනයෙන් බැන වදිමින් තම නිවසින් යන ලෙස තර්ජනය කරන ලදි. රිටිගල ජයසේන ඉතා ලැජ්ජාවට පත් වුනු අතර තරහත් සමඟම ගෝඨයිම්බරයා තමාට කිසිම අභියෝගයක් නැති බවත් සතියකින් තම්මැන්නා සුසාන භුමියේ දී හැකි නම් ද්වන්ධ සටනකට එන ලෙසත් උත්සව සභාවේදීම ඉතා සැරවැරයෙන් කියා සිටි අතර ‍ ගෝඨයිම්බර ‍සෙනවිත් බිමතින්ම ජයසේන තමාට කිසිදු අභියෝගයක් නොමැති බවත් කඩුවකින් නොව තමාගේ වම් පයේ සුලැගිල්ලෙන් ජයසේනගේ හිස ගසා දමන බවත් මහ හඩින් උත්සව සභාව මධ්‍යයේ බහින් බස් විය.

මේ ආරංචිය දැනගත් ගැමුණු රජු වහාම මේ සටන නවත්වා දමන ලෙස අණ කලත් තම අභිමානය තමන්ට සිදුවු ලජ්ජාව මකා ගැනීමට අනිවාර්යයෙන් මේ සටන පැවතිය යුතු බව දෙදෙනාම පවසා ඇත.

සටනට දිනය පැමිණි අතර සටනට පෙර දා හොදින් මත්පැන් බී සටන දාත් දවල් වන තුරු නිදමින් සිටි ගෝඨයිම්බරයාට එකපාරම තම අභියෝග කල සටන මතක් වු අතර කෑම බීමද අමතකව ඇද සිටි සළුව තදින් ගැ‍ට ගසා උතුරු සළුව හිසේ ජටාවක් ලෙස බැදගෙන සොහොන් බිමට දිව යන්නට විය.

ඒ වන විටත් රිටිගල ජයසේන ලෝහ සන්නායකයක් පැලද සිටිමින් මනාව සටනට සුදානම් වී සිට අතර ඔහු හතර රියන් උස පුද්ගලයකු වු අතර ගෝඨායිම්බරයා ඉන් හරියටම අඩක් උස විය.

ගෝඨයිම්බරයාගේ සහායට සටන නැරඹීමට පැමිණි අය මෙය දුටු සැනින් ම බෝහෝම දුකට පත්වුයේ ගෝඨයිම්බරයා පරාද වේවි යන හැගීම බොහෝම දෙනාගේ සිතට ආ නිසාය.

තම මිතුරාට ආචාර කල ගෝඨයිම්බර සටනට පිවිසිය. ආචාර කිරීමත් සමඟම හිස ඔසවා සතුරා හෙවත් ජයසේනයාගේ මුහුණ බැලු ගෝඨයිම්බර ඇසිපිය ගහන සැනින් අහසට පැන ජයසේනගේ නිකටට තම වම් ප‍යෙන් දැඩි පහරක් එල්ල කලේය.

එක විටම අන්ද මන්ද වු ජයසේනට තමා නමස්කාර කරන සෙනසුරු දෙවියන් සිහිවන විටම හිස කදින් වෙන්වී රිටිගල පැත්තේ කරඔ ගසක රැදී ඇත.

ඔය සිද්ධියෙන් සෙනසුරා කලබල වෙලා ඇවිල්ලා ඔළුව හොයා ගන්නම බැරි තැන වලස් ඔලුවක් අනෙක් පැත්තට හයි කොරලා තමයි රිටිගල ජයසේනයාගේ පණ බේරා ගෙන තියෙන්නෙ. ඔය වලස් ඔලුවෙන් තමයි රිටිගල ජයසේනයා අදත් අපේ ප්‍රවාද ගොඩ නඟන්නෙ. ඒවා වඳුරු කුණුහරුප වගේ කට්ටියකට පේන්නෙත් ඒකයි.

කොහොම වුනත් පින්වතුනි මේ කතාව රිටිගල ජයසේනයා ගැන නෙවෙයි පූජ්‍ය පාද කොකාගම ජිනරතන හිමි හෙවත් කොකා සාදු ගැනනෙ.

ඔය ගෝටයිම්බරයා මළායින් පස්සෙ උගෙ ගන්ධබ්බයා උපදින්න සුදුසු යෝනියක් සොයමින් සිටියා සියවස් ගණනාවක්ම. ඒත් ලැබුණෙ නෑ.

ඕක දෙපැත්තකට කියන්න පුළුවන්. එකක් තමයි ගෝටයිම්බරයාගෙ වර්ෂන් එක. ඒ කියන්නෙ ගෝටයිම්බරයාගෙ තිබිච්චි සුවිශේෂී දේශප්‍රේමයට ගැළපෙන ආකාරයේ උපතක් ලබන්න සුදුසු යෝනීන් අති දුර්ලභයි කියන කාරණාව. දෙවැන්න තමයි යෝනීන්ගේ වර්ෂන් එක. අනේ තෝ අපට එපා රිංගුවොත් හෙම ගබ්සා කරනවා කරනවාමයි කියලා යෝනීන් ගණනාවක්ම ඒකාගේ ගන්ධබ්බයා එළවා ගත්තා කියලා තමයි පුරාණ පුස්තක වල තියෙන්නේ. හැබැයි ඕවා මම වත් හරියට දන්නෙ නෑ. ඕවාගේ ඇත්ත නැත්ත දැන ගන්න පුළුවන් අර නාථ දෙවියන් හා විපස්සක දෙවියන් එක්ක කොම්පැනියක් දාගෙන හාල් බිස්නස් එකක් කරනවය කියන ප්‍රියන්තා සේනානයක මහත්මිය ගෙන්ම තමයි.

කොහොම කොහොම හරි ගෝටයිම්බරයාගේ ගන්ධබ්බයා බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී තමන්ට දේශප්‍රේමී උප්පත්තියක් ලබන්න නිසි යෝනියක් හොයාගෙන අප්පුවා නමින් පිරිමි ආත්මයක් ලැබුවා. මේ අප්පුවා තමයි පසු කලෙක විචිත්‍ර ධර්ම කථික කොකාගම ජිනරතන හිමියන් බවට පත් වන්නේ.

කොකාගම ජිනරතන හිමි හෙවත් කොකා සාදුගේ තිබුණු පළමුවැනි විශේෂත්වය තමයි ගෝටයිම්බර යෝධයාගේ තිබුණු තිරස්චීන දේශප්‍රේමය නොසැලී තවමත් උන් වහන්සේගේ චිත්තාභ්‍යන්තරයේ තිබුණු එක. ඒක ඔරිජිනල් දුටුගැමුණු ටයිපයේ දේශප්‍රේමයක්.

මේ සිංහල අපගෙ රටයි – අප ඉපදෙන මැරෙන රටයි!

මාගේ මේ ව්‍යායාමය රජගේ සැප පිණිස නොව සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසමැ වන්නේය.

ගෝටයිම්බරයා දොලොස් හැවිරිදි කාලයේ මිත්ත නම් සෙනෙවියාට සේවය කළ නමුත් බුදු සසුන වනසන දෙමළුන් දැක කෝපයෙන් රාත්‍රියේ ගොස් ඔවුන් අලවා මරා දමයි. (මහා පින්වත් කෙනෙක් නිසා දෙවියෝ මේ මළසිරුරු අතුරුදහන් කළ බව කියවේ.) දෙමළු විශාල වශයෙන් අඩුවූ නිසා එළාර රජු මේ ගැන සෙවීමට භටයින් පවා යෙදවීය.

විචිත්‍ර ධර්ම කථික කොකා සාදුගෙ තිබුණු දෙවන විශේෂත්වය තමයි ටෙලිපති වලින් ධර්ම දේශනයට තිබුණු සුවිශේෂ හැකියාව.

වචනයෙන් යන ධර්ම දේශනාව අතරම යනවා ටෙලිපති වලින් කරන ධර්ම දේශනාවකුත්. උදාහරණයක් මෙහෙම.

“පින්වතුනි මෛත‍්‍රිය කියා කියන්නේ තමාටත්, අන් අයටත් හදවතින් ම පවත්වන මිත‍්‍රත්වය යි. [තොපිට පේන්නෙ නැද්ද යකුනේ සුළු ජාතීන් මේ රට උදුර ගන්න මාන බලන හැටි?] තමා තමාට මිත‍්‍ර නම් තමා විසින් තමන්ගේ ජීවිතයට හානියක්, කරදරයක් කරන්නේ නෑ. [දෙමළා කෑල්ලක් අල්ල ගන්න බලනවා. හම්බයා කෑල්ලක් අල්ල ගන්න බලනවා.] තමා අනුන්ට මිත‍්‍ර නම් අනුන්ගේ ජීවිතයට කරදරයක් කරන්නේ නෑ. මේ නිසා තමාටත්, අනුන්ටත් යහපත සලසන මිත‍්‍රත්වයට මෛත‍්‍රිය කියා කියනවා. [තොපි ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වගේ දත නියෝ නියෝ ඉන්නවා.] මේ මෛත‍්‍රී සහගත බව අපට සිව් ඉරියව්වේ දී ම පුරුදු කරන්න පුළුවන්. එ් වගේ ම, ක‍්‍රියාවෙනුත්, වචනයෙනුත්, සිතිනුත් මෛත‍්‍රිය දියුණු කර ගන්න පුළුවන්. [කෝ තොපේ සිංහලකම?] මෛත‍්‍රී සහගත කාය කර්ම, මෛත‍්‍රී සහගත වචී කර්ම, මෛත‍්‍රී සහගත මනෝ කර්ම වශයෙන් භාග්‍යවතුන් වහන්සේ තිදොරින් ම මෛත‍්‍රිය පුරුදු කර ගත යුතු අයුරු පෙන්වා දී තිබෙනවා. [යකෝ අපි මළේ මේ රට වෙනුවෙන්. අපේ උතුම් ජාතිය වෙනුවෙන්.] එදිනෙදා ජීවිතයේ දී එලෙසින් මෛත‍්‍රිය තුළ ජීවිතය පවත්වන ශ‍්‍රාවකයාට භාවනාවක් වශයෙන් දියුණු කරමින් මෛත‍්‍රී චිත්ත සමාධිය ඇති කර ගැනීමට අවස්ථාව උදා වෙනවා. [තොපි මොනවද නරුමයිනේ කරන්නේ මේ උදාර සිංහල ජාතිය සුළු ජාතික පරයින්ගෙන් ගලවා ගැනීම පිණිස?]...”

සැබෑ දේශප්‍රේමියකු නොවන්නකුට ඇහෙන්නේ වචනයෙන් කරන දේශනාව විතරයි. හැබැයි සිත දියුණු කර ගත්තු සැබෑ දේශප්‍රේමියකුට වචනයෙන් කරන ධර්ම දේශනාව වගේම ටෙලිපති වලින් කරන ධර්ම දේශනාවත් ඇහෙන්න පටන් ගන්නවා.

මේ හන්දා ඊට දසක කිහිපයකට පසුව බිහි වෙන්නට නියමිත ගංගොඩවිල සෝම හිමියන් වාගේම කොකාගම ජිනරතන හිමියනුත් සකලවිධ බෞද්ධ ජනතාව අතර අනුපමේය ගෞරවාදරයට පත්වුණා.

කොකා සාදු පොත් පත් හෙමත් බොහොමයක් ලියපු උගතෙක්. ඉරිසියාකාරයො නම් කිව්වා කොකා සාදු එව්වා ලිව්වෙ පරමවිඥාර්ත බෞද්ධ සමාගම විසින් පළ කොරාපු පත පොත පරිවර්තනය කොරළා කියලා. ඒ කාලෙ පින්වතුනි පරමවිඥාර්ත බෞද්ධ සමාගම තමයි බෞධයින්ගේ විකිපීඩියාව. හැබැයි ඔව්වා ඉරිසියාකාරයින්ගේ කතා වෙන්නත් පුළුවන්.

කොකා සාදු ඒ කාලේ දකුණු පළාතෙන් පටන් අර ගත්තු බෞද්ධ පුනරුදයේ ප්‍රතිඵලයක් හැටියට බිහිවුණු ලක් රිවි කිරණ, ලංකා ලෝකය, සිංහල බෞද්ධයා වගේ පුවත්පත් වලටත් නිතර ලිව්වා.

ඒකෙන් මේකෙන් කොකා සාදුගේ කීර්තිය දේශ දේශාන්තරයන්හි පැතිරෙන්න පටන් ගත්තා.

තමන්ගෙ ඔලුව ගලවා දාපු ගෝටයිම්බරයා නැවත උප්පත්තිය ලබලාය කියලා අර වලස් ඔලුව හයි කරාන ඉන්න රිටිගල ජයසේනයාගේ කණට වැටෙන්නත් මහා කාලයක් ගියේ නෑ.

ඕක අහපු ගමන් රිටිගල ජයසේනයාගේ රකුසු ඇස් දිලිසෙන්න පටන් ගත්තා!

(විසි හය වැනි කොටසට…)

Advertisements
This entry was posted in Non classé. Bookmark the permalink.

One Response to විසි පහ (25) කොටස: රිටිගල ජයසේනගේත් බෙල්ල ගැලැවූ කොකා සාදු

  1. අනේ මන්දා සිරිසේන!

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s