ගෞරවනීය පාඨක මහත්වරුනි, ඔබ තමුන්නාසේලා දන්නා පරිදි මේ දවස් වල සිරිසේන හිටපු ගිරාම සේවක තුමා ඉන්නෙ බොහොම බයෙන් හා දෙගිඩියාවෙන්. ඒකට හේතුව තමයි ඝෝඨාභය රාජපස්ස තුමා මේ දවස් වල හැමදාම මහේසාක්ය විදියට හීනෙන් පෙනි පෙනී “අර පොත ලියන්නේ නැද්ද පකෝ?, තෝ ඒ කාලෙ නම් කිව්වෙ එහෙමයි හිටං, බලාගෙන යනකොට තෝ කොස්කොළ මැල්ලුම් එක්ක බත් කාලා අත හෝද ගන්න වත් බැරි නාට්ටාමියෙක්නෙ” කිය කියා පුන පුනා ඇසීම. (එහෙමම නෙවෙයි ඇහුවෙ, අහපු විදියටම ලියන්න බැරි නිසා මම වචන ටිකක් වෙනස් කොළා.)
ඝෝඨාභය උන්නැහේ කෙනකුගෙන් යමක් අහන්නෙ කොහොමද කියලා අපි දන්නවනෙ. උන්නැහේ ගිරිය පුප්පලා, අත මිට මොළෝලා එහෙම අහන කොට සිරිසේන මහත්තයාට චූ ගිහින් ඇහැරෙනවා. ඇහැරිලා චූ යනවා නම් ඒක එකක්. චූ ගිහින් ඇහැරෙන එක තමයි කාලා ඉන්න බැරි.
හෝදලා කාරිය දෙන්න ගෑණු පරාණයක් වත් නැති එකේ ටික දවසකින් සිරිසේන මහත්තයාගේ මෙට්ටය පිටකොටුවෙ වැසිකිළිය වගේ හුජ්ජ ගඳ ගහන්න පටන් ගත්තා.
සිරිසේන මහත්තයගෙ පුරස්නෙ වුණේ පොත් ලියා ගන්නත් බෑ හිටං, හැබැයි කලින් දීපු ලොරි ටෝක් හින්දා ඒක කරන්න බෑ කියලා පිළි අරන් වෙන කෙනෙකුට බාර දෙන්නත් බෑ හිටං. අන්තෝ ජටා බහි ජටා.
මේ මානසික වියාකූලතාවය නිසා සිරිසේන මහත්තයාට දවස තිස්සේම තැනක් නොතැනක් නැතුව ඝෝඨාභය, ඝෝඨාභය, ඝෝඨාභය, ඝෝඨාභය,ඝෝඨාභය, ඝෝඨාභය, ඝෝඨාභය, ඝෝඨාභය, ඝෝඨාභය, ඝෝඨාභය, ඝෝඨාභය, ඝෝඨාභය… කියල කියැවෙන්න පටන් ගත්තා.
ඝෝඨාභය, ඝෝඨාභය, ඝෝඨාභය…
දත් මදින කොටත් කියවෙනවා, කන කොටත් කියැවෙනවා, රෙන කොටත් කියැවෙනවා, කංසා උගුරක් ඇද්ද වෙලාවෙත් කියැවෙනවා, කඩ මණ්ඩියට ගිය වෙලේත් කියැවෙනවා, නාන කොටත් කියැවෙනවා, අතේ ගහන කොටත් කියැවෙනවා…නෑ, අහවල් වැඩේ කරද්දි නම් කියැවුනේ නෑ. මොකද සිරිසේන මහත්තයා අයිසෙක් නිව්ටොං සෑර් වගේ ජීවිතේ කවදාවකත්ම අහවල් වැඩේ කොරළා තිබුනේ, කොරන්නේ නැති හන්දා. තරුණ කාලේ ජයන්ති මැණිකේට හිත ගිහින් තිබුණු විදියට සිරිසේන මහත්තයාට කවදාවත්ම තව ගෑනියෙක් එක්ක ඒක කොරන්න හිත හදා ගන්න බැරිවුණා.
එක සැරයක් තරුණ සිරිසේන මහත්තයා පොඩි උත්සාහයක් නම් ගත්තා තමයි. අනේ ඇස් වහක් කට වහක් නෑ, සාරීරිකව හෙම ගැටළුවක් කාරිය මතුවුණේ නෑ. අර මන්දා නාලිනී නෝනා කියැන්නැහේ සිරිසේන මහත්තයා අරවින්දයක් වගේ පිපී ආවා. හැබැයි ඒ ක්ෂණෙයෙහිම සිරිසේන මහත්තයාට ජයන්ති මැණිකේ මතකයට ඇවිත් පපුව හෝස් ගාලා දාලා ගියා. ඒ හන්දා එතැනින් එහාට යාමක් වුණේ නෑ. ගණුදෙනු කාරිය බේරලා සිරිසේන මහත්තයා ටෙන්ට් ගහගෙනමලු ගෙදර ගියේ.
ඔය කුණුහරුප කතා කියන්න ගියොත් කෙළවරක් නැති වෙනවා. අපි ආයෙත් කතාවට එමු.
කරුමෙට ගමේ මිනිස්සු සිරිසේන මහත්තයා ඝෝඨාභය ඝෝඨාභය කියලා මැතිරීම තේරුම් අර ගත්තෙ වැරදි විදියට.
ජැන්ඩි පහට කොමියුනිකේසොං ෂොප් එකක් දාගෙන ඉන්න මැන්දිස් අයියා කියලා පොරක් හිටියා ආගංගොඩ. පොර ජන්මෙන් කතෝලිකයා වුණාට කවදාවකත්ම පල්ලියකට වත් ගියපු එකෙක් හෙම නෙවෙයි. කොටින්ම මැන්දිස් අයියලා වගේ පොරවල් වලට ආගම මතක් වෙන්නෙත් නත්තල් දවසට විතරයි. බ්‍රදර් බර්නාඩ් පුළුවන් තරම් උත්සාහ කොරළා තිබුණා මේ මිත්‍යා දුරුෂ්ටිකයා යහ මඟට ගන්න. හැබැයි ඒක අසාර්ථක උත්සාහයක් වුණා.
දවසක් සෙරපිනාගෙ කෝපි කඩේදි මැන්දිස් අයියා සිරිසේන මහත්තයා බෙල්ලෙන් අල්ලගෙන පොඩි ටෝකක් දාලා තිබුණා.
“වේස නාකියො, ඇත්තද බොල තෝ ඝෝඨාභය [බලධාරියා විසින් කපන ලදී.] දෙදාස් විස්සේ ජනාධිපති කරන්න ගමේ ප්‍රොජෙක්ට් කරනවා කියන්නෙ?”
ඔතැන මහත්වරුනි දිග අතීත කතාවක් තියෙනවා.
ඔය කලින් ආණ්ඩුව කාලේ, ඒ කියන්නෙ මහින්ද මහත්තයා දැහැමෙන් සෙමෙන් කට්ටකමෙන් හා ප්‍රෝඩාවෙන් රාජ්ජය කරන සමයේ දවසක් ඔය මැන්දිස් අයියා යනවලු මොටෝ බයික්කෙක ඇපල බට වාගෙ උගෙ කෑල්ල ඩබල් දාගෙන.
දැන් ඔය දෙන්නා ඩබල් දාගෙන අර මොටෝ බයිසිකැල් පිචැර් එකේ වගේ යනකොට ඝෝඨාභය රාජපස්සතුමා කොහේදෝ යනවලු තව කළු වාහන කන්දරාවක් පිරි වරාගෙන. පූප් පූප් පීප් පීප් පූප් පූප් පීප් පීප් ගාගෙන නළා පිඹගෙන. දන්නවනෙ ඒ කාලෙ ඝෝඨා තුමා පාරේ ගිය හැටි. පාර ඝෝඨාතුමාගේ බාරියාවගෙ අප්පොච්චිගෙ බූදලේ වගේනෙ පාරෙ ගියේ.
“ඈත දූලින් වැසීගිය ඇත්රජාණෝය. මෑත සවනක් ඝන බුදුරැසින් සැදී ගිය බුදුරජාණෝය. ඈත කෝපයෙන් රත්ව ගිය යමක වැනි ඇස් ඇති ඇත්රජාණෝය. මෑත කරුණාවෙන් තෙත්ව ගිය නිල් මහනෙල් පෙති පරයන ඇස් ඇති බුදුරජාණෝය. ඈත එබු එබු පයෙන් මහපොළොව පළා පියාන්නාක් මෙන් දුවන ඇත් රජුය .මෑත තැබු තැබූ පයෙන් මිහිකත සනහා සනහාලන බුදුරජාණෝය.’
ඈත මොටෝ බයික්කෙකේ ඩබල් දාලා යන මැන්දිස් අයියාය. මෑත ඝෝඨාභය රාජපසායාණෝය. රාජපස්සයාණන්ගේ ඝෝඨා-භටයාණෝය.
ඉතින් ඔහොම යනකොට පාඨක මහත්වරුණි, ඉස්සරහ ඩිෆේන්ඩර් එකක ගිය ඝෝඨා-භටයෙක් ඔලුව එළියට දාලා මෙහෙම කෑගැහුවෙ නැතෙයි…
“ඇස් පේන්නේ නැද්ද හුයන්නෝ?
පාරෙන් අයිනට ගනින් පයන්නෝ!”
(ඔව්, ඔව්, දැන් ඔබ තමුන්නාස්සෙලා දන්නවා මම මෙහෙම කාව්‍යමය භාෂාවෙන් එළිසම හෙම තියලා ලිව්වට හරියටම එදා භාවිතා වෙච්චි වචන සැට් එක. ඔබ තමුන්නාන්සෙලා පට්ට නිර්මාණශීලී පාඨක පිරිසක්. මෙවැනි පාඨක පිරිසක් මේ කතාව කියැවීම ගැන ලියන මහත්තයා වන මම අනිවා ඩෙෆා ආඩම්බර වෙනවා පාඨක මහත්වරුනි.)
දැන් මේ ඝෝඨාබටයගෙ කතාවෙන් අශෝක මහාධිරාජයාගේ සෙයියාවෙන් මොටෝ බයික්කෙකේ ගිය මැන්දිස් අයියාගේ හිත හොඳටෝම රිදුණා. ඌට වැඩියක්ම රිදුණේ ඇපල බට ළමිස්සි ඉස්සරහ කුණුහරුප අහ ගන්න වෙච්චි එකටයි. එදා ඉඳන් මැන්දිස් අයියා ඝෝඨා සෑර් එක්ක නයි වෛරයි.
ඔන්න ඕක නිසා තමයි මැන්දිස් අයියා සිරිසේන මහත්තයාගෙ බොටුවෙන් අල්ල ගත්තෙ.
අනේ ඉතින් මැන්දිස් අයියා වගේ හරිහමන් හතර රියන්, සික්ස් පැකිස් ගැටයෙක් එක්ක හැප්පෙන්න පුළුවන්යැ මේ නාකි සිරිසේනයාට. වයස වයස කියලා බලන්නෙවත් නැතුව බොරළු පොළොවේ දිගෑදිලා මැන්දිස් අයියාගෙ කකුල අල්ලලා වැඳලා මෙහෙම කිව්වා.
“අනේ බුදු මල්ලියේ, අපි දෙන්නා, එක ගමේ එවුන් වෙච්චි, පොඩි කාලේ එක ඉස්කෝලෙට ගිය එවුන් වෙච්චි මං උඹට බොරු කියන්නෙ මොටෙයි, මගේ තුන් හිතක වත් නෑ එහෙම ඝෝඨාභය සෑර් රජ කරවන වියාපුරුතීන්. මේ පොත ලියන කටයුත්ත සාස්ත්‍රීය වියාපුරුතියක් මිසෙක දේසපාලන වියාපුරුතියක් හෙම නෙවෙයි…”
මැන්දිස් අයියාත් මේ කතාව ඒ විදියටම බාර ගන්න ලෑස්ති වුනේ නෑ. ඌත් කෛරාටිකයා. ඌ මෙහෙම ඇහුවා.
“දැන් මම කොහොමද දන්නෙ උඹ ඇත්ත කියනවද කියලා..?”
“අනේ බුදු මල්ලියේ මං මොටෑ උඹට බොරු කියන්නෙ? මේ ආගංගොඩ වගේ ගමක ඇබිත්තං වියාපුරුතියක් කොරළා ඝෝඨා සෑර් වගේ කෙනෙක් රජ කොරවන්න පුළුවන් කියලා උඹ හිතනවා නම් උඹට ඔළුවෙ අමාරුවක් තියෙන්ඩ එපායැ…”
ඒ තර්කෙ නම් පිළිගන්න පුළුවන් වගේ තේරුම් ගිය නිසා මැන්දිස් අයියා එතැනින් එහාට වාද කොරන්න ගියේ නෑ. ඌ තවසැරයක් සිරිසේනයගෙ ඔළුව පොළෝ තලේටම තියලා තද කොරලා කීප සැරයල් උළලා අර මහෞෂධ පණ්ඩිතයින් කොළා වාගේ “මා නොවඳුව, මා නොවඳුව මා නුඹට බාලයෙමි” කෑල්ලකුත් දාලා උගේ ගමන ගියා.
මේ සිද්දියෙන් හිත හොඳටෝම ඔද්දල් වෙලා තිබුනෙ සිරිසේන මහත්තයා ඝොඨාභය ඝෝඨාභය කිය කියා මතුරනවාය කියන කතාව් මැන්දිස් අයියාගෙ කණේ තියලා, ඌ සිරිසේන ගිරාම සේවක මහත්තයගෙ කණ පලනවා බලන්න ආසාවෙන් උන්නු ගමේ රොයිටර් නැන්දා කෙනෙකුගෙයි. ඒ කතා පස්සෙ අහමු.
(විසි පස් වැනි කොටසට…)
++++
LikeLike
සිරාට කෙසේවෙතත් ලියන්නාට නම් හෝල්සේල් ඝෝඨා පේනවා වගේ!!
එතකොට හීනෙන් චූත් යනවාද?
LikeLike
ඇපල බට ළමිස්සි ???
LikeLike
මැන්දිස්? කවුද මේ මැන්දිස්….
LikeLike