දහතුන (13) කොටස : හම්බයෝ එති!

images

මුරුගේසු හා රගුනාදන් කියන දෙමළ තරුනයින් දෙන්නා 1830 දසකයේ අග හරියේදී ‘බොටර්නෙල්’ වතු යායෙන් නිදහස් වෙලා නිරිත දිගට ගමන් කලා මනුස්ස වාසයක් හමු වෙතැයි බලාපොරොත්තුවෙන්.

නැහැ, ඔවුන් පැමිණියෙ ආගංගොඩ ගම්මානයට නෙවෙයි!

කොටින්ම ඒ කාලෙ ආගංගොඩ කියලා තනි ගම්මානයක් තිබුනෙ නෑ. ඒ කාලෙ තිබුනෙ වෙන වෙනම ජන කොට්ටාස තුනක එකතුවක්. මේ ජන කොට්ටාස භූගෝලීයව තිබුනේ එකට නොව එකිනෙකින් ටිකක් දුරස්තවයි. හරියටම වෙන වෙන කුඩා ගම්මාන වගේ.

අරාබි වෙළෙන්දන්ගෙන් පැවත එතැයි සිතිය හැකි කුඩා මුස්ලිම් ජනාවාසයක් වෙරලට කිට්ටුවෙන් තිබුනා. මේ තමයි ජනාවාස කිහිපය අතුරින් ඒ වන විට විශාලතම හා සමහරවිට වඩාත්ම බලසම්පන්න එක. ඔවුන්ට කුඩා පල්ලියක් – ඔය අද තියෙන එක හෙම නෙවෙයි – තිබුනා, වන්දනාමාන කටයුතු පිනිස.

සිංහල බෞද්ද ජනාවාසය ඒ තරම් බලසම්පන්න එකක් නෙවෙයි. ඒ වන විට දහනව වන සියවසේ බෞද්ද ආගමික ප්‍රබෝදය ඇති වෙලා නැහැ. කොටින්ම පන්සලක් කියලා දෙයක් නමට තිබුනත් ඒකෙ හිටියෙ මහනුවර යුගයෙ නස්ටාවසේසයක් පමනක් වුනු ගනින්නාන්සේ කෙනෙක් මිසක බෞද්ද භික්ෂුවක් වත් නෙවෙයි. සිවුරු පෙරවීමකින් තොරව අඳනය විතරක් හැඳ සිටි මේ ගනින්නාන්සේට පන්සලට එහා පැත්තෙ ඉඩමේ ගෑනියෙක් හිටියා. මහා ලොකුවට සාර සුබාවට නෙවෙයි. ඒ වගේම මේ කාන්තාව ගනින්නාන්සේගෙ බිරිඳ ලෙස ප්‍රසිද්දියේ පෙනී සිටියෙත් නෑ. හැබැයි ඇය ගනින්නාන්සේ සමඟ ලිංගික සම්බන්දතා පවත්වනවා කියන කාරනය රහසක් වුනේවත්, කාටවත් එය ප්‍රශ්නයක් වුනේ වත් නෑ. ගනින්නාන්සේ රෑට කෑවා. අඳේට කුඹුරු වැඩ කලා. අවමංගල්‍යයක් වගේ අවස්තාවල අවශ්‍ය ආගමික කටයුතු කලා. ගම්මුන් මහසෝනා දැකලා බිය වුනාම පිරිත් කිව්වා. හැබැයි දර්මය දේසනා කරන්න තරම් නම් දැනුමක් තිබුනේ නෑ. මේ ගනින්නාන්සේගෙ නායකත්වය යටතේ තිබුනු බෞද්ද ජනාවාසය පිරිහුනු කුඩා එකක්. මේ වගේ ජන කොටස් තමයි පහු කාලෙක අනගාරික දර්මපාලතුමා විසින් නැවත නැඟිටුවා ගන්නා ලද්දේ.

1830 දසකය අග හරියේදී, පසුව ආගංගොඩ බවට පත්වන මේ ගම්මානයේ තිබුනු තෙවන ජන කොට්ටාසය තමයි ප්‍රංශ පියතුමකුගේ නායකත්වයෙන් රොක් වෙලා තිබුනු කතෝලික ජන කොටස. ලංකාවෙ පුරුතුගීසි යුගය දේසපාලනික වසයෙන් අවසන් වුනායින් පසුව  පුරුතුගීසි පියතුමන්ලා අපේ රටට ආවෙ නෑ. පුරුතුගීසි යුගයේදී ඇතිවුනු කතෝලික පල්ලි කරගෙන ගියේ බොහෝ විට ප්‍රංශ මිසනාරි පියතුමන්ලා විසින්. සමහරවිට ඔවුන් අලුතින් පල්ලි ඇති කලා. මේ පල්ලි වටා විසේසයෙන්ම සමාජයේ කුලහීන යැයි සැලකුනු ජන කොටස් ඒකරාසී වුනා.

මේ ජන කොටස් තුනම ලොකුවට බලසම්පන්න නොවෙන්න හේතුව තමයි ඒ කිසිවකට රාජ්යානුග්රහය නොලැබීම රාජ්යානුග්රහය ලැබුනේ ඒ වන විට ලංකාව පාලනය කල වික්ටෝරියා මහාරාජිනීන් වහන්සේගේ ආගම වූ ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි ආගමටයි.

මුරුගේසු හා රගුනාදන් යන තරුනයින් දෙදෙනාට මේ ජන කොටස් තුනෙන් එකකට සම්බන්ද වෙන්න අවස්තාව තිබුනා. හැබැයි දැන හෝ නොදැන ඔවුන් තීරනය කලා ඒ කිසිවකට සම්බන්ද නොවෙන්න. නිදහස්ව වෙසෙමින් ජනකොටස් සමඟ වැඩ කරන්න ලොකු බාදාවක් තිබුනෙත් නෑ.

මේ නිසා භක්තිමත් දෙමල තරුනයින් දෙදෙනා තමන් ගෙනා ගනදෙවි පිලිමය ඔහේ පැලවී තිබුනු බෝ ගහක් යටින් තියා වන්දනා මාන කරමින් අලුත් සංස්කෘතියක් ඇති කරමින් සිටියා.

වසර කිහිපයක ඇවෑමෙන් මුරුගේසු දරු දෙදෙනකු සිටි සිංහල ගෑනියෙක් සහේට ගත්තා. ඒකිගෙ මිනිහා මිය ගියේ අවේලාවේ කුඹුරට යද්දි යකා ගහලා. රගුනාදන් මුස්ලිම් ගෑනියෙක් එක්ක අනියම් සම්බන්දතාවයක් පටන් ගත්තා. මුස්ලිම් ගෑනියෙක් කිව්වට ඒකි මුස්ලිම් මිනිහෙක් එක්ක හිටි සිංහල ගෑනියෙක්. අරාබි වෙලෙන්දන් ගෑනු ගෙනාවෙ නෑ. මේ රටේ ගෑනුන්ව කසාඳ බැන්දා.

එහෙම කිව්වට මේ කාලයෙ නීත්‍යානුකූලව කසාඳ බඳිනවා කියලා මඟුලක් නෑ. මිනිස්සු ගෑනු තමන්ගෙ අබිමතය පරිදි දෙන්න දෙන්නා එකතු වෙලා හිටියා. සමාජයේ එක්තරා දුරකට පිලිගැනීමක් තිබුනා එක මිනිහට එක ගෑනි සංකල්පයට. හැබැයි ඕවා කැඩුනු අවස්තා ඕනෑ තරම් තිබුනා, අද වගේ නෙවෙයි. බලපුලුවන්කාරයා ගෑනු තුන හතර තියාගෙන හිටියා. වික්ටෝරියා මහ රැජින කිරීටයට පැමිනි අලුත මේ. කාලයත් සමඟ ඇය මේවා වෙනස් කරනවා තමයි. හැබැයි මේ ඒ කාලෙට ඉස්සර.

ශාකහාරී මුරුගේසු හා රගුනාදන් දෙන්නා රැකියාවක් වසයෙන් කලේ මූදෙ මාලු අල්ලන එකයි. මෙතැන පොඩි පරස්පරයක් පෙනෙනවා තමයි. හැබැයි වෙජිටේරියන් කියන්නෙ මස් මාලු නොකන එකට මිසක්කා සත්තු නොමරන එකට නෙවෙයි.

ශාකහාරී දෙමළ තරුනයින් දෙන්නා මසුන් මරමින්, පානාතිපාතය රැක්කාට මාංසහාරී වූ බෞද්දයින් සමඟ ඒවා ශාක ආහාර ද්‍රව්‍ය වලට බාටර් කර ගනිමින් නියම සහජීවන ගේමක් අරගෙන කියා.

අන්න නියම සහජීවනය! අද වගේ ඇන්. ජී. ඕ. වලින් ක්රුතිමව නිර්මානය කරන සහජීවනය වගේ නෙවෙයි.

මේ මිතුරන් දෙන්නා රැකියාව කලේ මූද අයිනේ බව අමුතුවෙන් කියන්න ඕනැ දෙයක් නෙවෙයි. ඔවුන්ට මාලු දැල් වගේ දියුනු උපක්‍රම තිබුනේ නෑ. හෙල්ලයක් වගේ සකස් කල ආයුධයකින් මූදු වෙරලට එන මාලුන්ට ඇනලා තමා මරා ගත්තේ. මේක අකාර්යක්ශ්ම වැඩක්. නමුත් ඒ කාලයේ ඔය පලදායිතාවය ගැන කතා කරන මැනේජ්මන්ට් ගුරාලා කවුරුත් හිටියේ නෑ. දෙන්නාට දවස සරි කරන්න මෙහෙම මරන මාලුවන් දහ පහලොස් දෙනා හොඳටෝම ඇති.

දවසක් මෙහෙම මාලුන් මර මරා ඉන්නකොට – හරියටම කිව්වොත් මරන්න මාලු වෙරලට එයිද බල බලා ඉන්න කොට – රගුනාදන් මෙහෙම කෑගැහුවා, දෙමලෙන්.

“මුරුගා…මුරුගා… අර බලාපල්ලා, අර මොනවාද මූදේ…?”

මෑත මූදේ ඔවුන් දෙසට එමින් සිටියේ වේවැල් වට්ටි වගේ රවුම් අමුතුම ජාතියේ ඔරු හතරක් පහක්.

මේවාට කියන්නෙ “හම්බන්-ඔරු” කියලා බව දෙමල තරුනයින් දෙදෙනා දැන සිටියේ නෑ…

(දහහතරවන කොටසට…)

Advertisements
This entry was posted in Non classé. Bookmark the permalink.

2 Responses to දහතුන (13) කොටස : හම්බයෝ එති!

  1. හම්බන් ඔරුවල ආවේ හම්බයින් වුණාට, ඔරුවල කැප්ටන්කම කරපු මරක්කල ලා කියන්නේ කරාව කුලයේ වාසගමක්.

    Like

  2. Ajith Dharma says:

    මේක ඇත්ත කතාවක්ද?

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s