දහය (10) කොටස : සීදේවී උගත් මිත්‍රයා

අද බුරහස්පතින්දා.

ආගංගොඩ ගමේ ඉතිහාසය ලිවීම පිණිස හිටපු ගිරාම සේවක සිරිසේන මහත්තයා රස්සාවෙන් අස්වෙලා සතියක් ගත වෙන්නත් කිට්ටුයි. ඒත් තවමත් ඔහුට පිටු 200 ප්‍රෝමේට් සී. ආර්. පොතේ ලියා ගන්න පුලුවන් වුනේ එකම එක ඡේදයක් විතරමයි.

තමන්ගේ අකාර්යක්ෂමතාවය ගැන සිරිසේන මහත්තයා කණගාටු වුනා.  

හැබැයි සැබෑව නම් ඔහුගේ අකාර්යක්ෂමතාවය ඔහුගේ ජීවිතය ආරක්ෂා කළ බවයි. ඔහු වැරදිලාවත් මීට වඩා දක්ෂයකු වුනා නම්, මීට වඩා බුද්ධිමත් වුනා නම් ඔහු ඉක්මනින්ම ජීවිතයට ආයුබෝවන් කියන්න තිබුනා. මන්ද ඔහු නොදැනුවත්වම අත ගසා තිබුනේ ඒ තරම් භයානක වැඩකට. ඔහුගේ මෝඩකම විසින් ඔහු ආරක්ෂා කරනු ලැබුවා. 

සිරිසේන මහත්තයා ගැන මොහොතකට අමතක කර අප වෙනත් චරිතයක් හමුවෙමු.

මොහොමඩ් ෂාවුල් හමීඩ් නසීර්. කෙටියෙන් මොහොමඩ් නසීර්.

ඔහු උගතෙක්, බුද්ධිමතෙක්, බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙක්, අග්නිදිග විශ්වවිද්‍යාලයේ කලා උපාදිදාරියෙක්, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ඉගෙනුම ලබා, දිවුරුම් දුන් නීතිඥයෙක්.

නීතිඥ නසීර් නඩුවකට පෙනී සිටියේ හාවා හඳ දැක්කාක් මෙන් කලාතුරෙකින්. ඔහුගේ පූර්ණකාලීන වෘත්තිය වුනේ ඉගැන්වීම.

ආගංගොඩ දෙමල විද්‍යාලයේ විදුහල්පතිතුමා නිතර, ඉතාම ආඩම්බරයෙන්, තමන්ගේ උපගුරු සගයා විදුහලට පැමිනෙන අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලදාරීන්ට හඳුන්නා දුන්නා. මේ සාමාන්‍යයෙන් ඔවුන්ගේ ඇහි බැම ඉහළ යන අවස්ථාවක්.

“ඇයි මිස්ටර් නසීර් හොඳ ලීගල් ප්‍රැක්ටිස් එකක් ගොඩ නඟා ගන්න හොඳටම පුලුවන්කම තිබියදිත් මෙ සුලු පඩියකට ඉස්කෝලෙක උගන්වන්නෙ?”

මොහොමඩ නසීර් මහතා උපතින් සිංහලයකුටත් වඩා ව්‍යක්ත ලෙස සිංහල භාෂාව හසුරවමින් මෙහෙම පිළිතුරු දුන්නා.

“සර්, මේ පැත්තෙ උසස් පෙලට සිංහලෙන් ආර්ථික විද්‍යාව උගන්වන්න පුලුවන් ගුරුවරුන්ගෙ කිසිම හිඟයක් නෑ. හැබැයි සර්ලා හොඳටම දන්නවා දෙමලෙන් ආර්ථික විද්‍යාව උගන්වන්න පුලුවන් ගුරුවරයෙක් හොයා ගන්න එක කොයිතරම් අමාරුද කියලා. මා මේ කැපවීම නොකලා නම් සර් මේ ඉස්කෝලෙ උසස් පෙල පන්තිය වහන්න වෙනවා. අපි ඒක කරගෙන යමු සර්.”

වරක් මේ හෘදයාංගම, හැඟීම්බර කතාව ඇසූ අද්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලදාරිනියක් හංගාගෙන ලේන්සුවෙන් කඳුලු පිසිනවා විදුහල්පතිතුමාත් හොඳින්ම දුටුවා.

මේ සාපේක්ෂව තරුන උද්‍යෝගිමත් ගුරුවරයා නිසා තමන්ගේ පාසලට නිබඳව යහපත් ලොග් සටහන් ලැබෙන බව විදුහල්පතිතුමා දැන සිටියා. නසීර් සර් නිසා, ටියුෂන් පන්ති යන්නට තරම් වත්කමක් හෝ ප්‍රායෝගික හැකියාවක් නුවූ තමන්ට සරසවි රුවන් දොර විවර වන බව උසස් පෙල ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනගෙන හිටියා.

නසීර් සර් ගැන වරක් ආගංගොඩ ප්‍රාදේශීය වාර්තාකරුවෙක් ඔහුට නොදන්වාම ලංකාදීප පුවත්පතට කෙටි ලිපියක් ලියා තිබුණා. ඒ නම් සාමාන්‍යයෙන් කෝප නොගන්නා නසීර් සර් නොසෑහෙන සේ කෝප වූ දවසක්.

“මං කරන්නෙ රැකියාවක්. ආන්ඩුවෙන් මට වැටුපක් ලැබෙන්නෙ ඒකට. මට ඒ හොඳටම ඇති. මාව පුම්බන්න අවශ්‍ය නෑ. මම සුපර් මෑන් කෙනෙක් නෙවෙයි. මම සාමාන්‍ය පාසල් ගුරුවරයෙක්”

නසීර් සර්, යූ ආ මයි නිගා.

(“හිච්චි එකෝ, මගේ උරහිසට උඩින් එබි එබි ඕක කියවන්නෙ නැතුව පල ගිහින් ගේම් ප්ලේ එකක් බලපිය!”)

ඉඳලා හිටලා දවසක, පාසලේ වැඩ අතපසු නොවෙන විදියට, නසීර් සර් උසාවියේ නඩු වලට පෙනී සිටියා. මගෙ අම්මේ, එහෙම වෘත්තීයභාවයක්!

ප්‍රාදේශීය උසාවි වල සේවය කරන නීතිඥ මහතුන්, මහත්මීන් හරස් ප්‍රශ්න ඇසීමේදී විරුද්ධ පාර්ශ්වයේ සාක්ෂිකරුවන් දෙකේ කොළයට දමා කතා කිරීම, ඔවුන්ට කළ හැකි උපරිමය තෙක් අපහාස කිරීම ඉතාම සාමාන්‍ය දේවල්. මෙසේ කිරීමෙන් තමන්ගේ සේවාදායකයා සතුටක් ලබන බව ඔවුන් දන්නවා. එතකොට නඩුව පැරදුණත් සේවාදායකයා සතුටුයි.

අපේ සර් අරකිගෙ රෙදි ගැලෙව්වා. ඒකි ඇඬුවෙ නැතුවා විතරයි. අපේ සර් උගෙ පට්ටන්දරේම දිග ඇරිය උසාවියෙ.  

“මම යෝජනා කරනවා තමුන්ගෙ ස්වාමි පුරුෂයා ආන්ඩුවේ ස්ථිර රැකියාවක නියුතු වැදගත් මහත්මයකු හැටියට තමුන්ට දිය හැකි සෑම සැප සම්පතක්ම දීලත්, තමුන්ටත් දරුවන්ටත් ඉතාම හොඳින් සලකලත්, තමුන් මේ දික්කසාද නඩුව පවරන්නෙ ඉතාම ද්වේශ සහගත සිතිවිල්ලකින් තමුන්ගෙ රැකියාවක් පවා නැති, විසි දෙහැවිරිදි අනියම් පෙම්වතාගෙ කීමට රැවටිලා කියලා…”

“දැන් තමුන් මේ ගරු උසාවියට කියන්නෙ දොස්තර විභාගෙ පාස්වෙලා අවුරුදු පහක් දොස්තර කෙනෙක් හැටියට සේවය කල තමුන් මේ වගේ සිද්ධියකදි පොලීසිය දැනුම්වත් කළ යුතුයි කියන සරල කාරණාව වත් නොදැන සිටියා කියලද… තමුන් ඇත්තටම දොස්තර විභාගෙ සමත්ද?”

ඔන්න ඔහොමයි ඒ ගොල්ලන්ගෙ කතාව.

මොහොමඩ් නසීර් නීතිඥ මහත්තයා කවමදාවත්ම තමන්ගෙ විරුද්ධ පාර්ශ්වයෙ සාක්ෂිකරුවකු සාක්ෂිකාරියක අපහසුවට පත් කලේ නැහැ. ඔවුන්ට අපහාස කලේ නැහැ. කොටින්ම ‘තමුන්’ කියන වචනය භාවිතා කරනු වෙනුවට මහත්මයා/මහත්මිය කියලා කටපුරා කතා කලා.

“මහත්මියනි, මා ඊළඟට අහන්න යන්නෙ සංවේදී ප්‍රශ්නයක්. මේ නඩුව ඉදිරියට ගෙන යෑම වෙනුවෙන් අකැමැත්තෙන් වුනත් මට ඒක අහන්නම වෙනවා. මා වැරදි නම් කියන්න. ඔය කියන මාස හයක කාලය තුල ඔබ ඔබේ ආයතනයේ වෙනත් පුද්ගලයකු සමඟ විවාහයෙන් පිට ප්‍රේම සම්බන්ධයක් පැවැත්වුවා නේද…?”

“ස්වාමීනි මගේ උගත් මිත්‍රයා සමඟ එකඟ වෙන්න තිබුනා නම් මා සතුටුයි. එසේ කිරීමට බැරිවීම ගැන කනගාටු වෙනවා…”

ඔන්න උගත් බුද්ධිමත් තැන්පත් නසීර් නීතිඥ මහත්මයාගෙ කතාව.

ව්‍යක්ත සිංහල. වෘත්තීය ප්‍රශ්න කිරීම.

සීදේවී නීතිඥ මහත්මයා!

විරුද්ධ පාර්ශ්වයේ සාක්ෂිකරුවන් පවා නීතිඥ නසීර් ගැන කිව්වෙ එහෙමයි. ඔහු නිතර නඩු වලට පෙනී නොසිටින එක ගැන අධිකරණය දුක් වුනා.

බිරින්දන් සත් දෙනෙක් සරන පාවා ගන්න දෙවියන් වහන්සේගෙන් අවසර ලැබී තිබුනත්, නීතිඥ මොහොමඩ් නසීර් අවිවාහකයෙක්. එහෙම තමයි තමන්ගේ සේවයට කැපවූ පිරිස්. එහෙම අය අඩුයි.  

ආගංගොඩ ගමේ හතරෙන් එකක පමණ මුස්ලිම් ජනගහනය ජීවත් වූ ආකාරය ගැන මට කලින් කියන්න බැරි වුනා. ඔවුන් ජීවත් වුනේ විසිරී නෙවෙයි. එකම තනි පොකුරක. මේ මුස්ලිම් ඔන්ක්ලේව් එක වට කොට තිබුනේ සිංහල ගෙවල්. කොටින්ම ප්‍රදාන මාර්ගවල සිට බලන්නෙකුට එහෙම මුස්ලිම් පොකුරක් තියෙනවාය හිතන්නත් බැරිවුනා. හැබැයි කාර් එකකට පවා යන්න අපහසු ඉතාම පටු පාරවල් ඔස්සේ මේ පොකුර ඇතුලට ගියාම තමයි වැටහුනේ ඉතාම ලාංකීය ගම්බද පරිසරයක්මැද, කාටවත් නොපෙනී පුංචි අරාබියක් නිර්මාණය වී තිබුණු ආකාරය.  

මොහොමඩ් නසීර් සර්ගෙ ගෙදර තිබුනෙ මේ පොකුර හරි මැද. (සිතියම…? සිතියම නේද? මොන සිතියමද හැබෑටම …?)

නසීර් සර්ගෙ ගෙදර සාමාන්‍ය තරමට ටිකක් ලොකු ගෙයක්. පාසල් ගුරුවරයකුට නම් පවත්වා ගන්න අමාරු තරමේ එකක්. ඔහුට තරමක පුස්තකාලයකුත් නවතම මරුති රථයකුත් තිබුනා. හැබැයි නසීර් සර්ට අමතර ආදායම් මාර්ගයක් තිබුනු බව හැම දෙනාම දැන සිටියා. ඒ නිසා මේ ටිකක් විතර සුඛෝපභෝගී ජීවිතය පැහැදිලි කළ යුතු තරම් දෙයක් නම් වුනේ නෑ. ඇරත් අවිවාහකයකුට මොන අමතර වියදම්ද? මුලු ආදායමම තමන්ට නෙවැ.   

මොහොමඩ් නසීර් නීතිඥතුමා/ගුරු මහතා තමන්ගේ ගෙදර පැත්තක පොඩි පන්ති කාමරයක් තනාගෙන තිබුනේ දිළිඳු දරුවන්ට නොමිලයේ ඉංගිරිස් භෂාව ඉගැන්වීම පිණිසයි.

හැබැයි මේ සේවාව නම් ඔහු ලබා දුන්නේ මුස්ලිම් දරුවන්ට හා එයිනුත් ඔහු විසින්ම සම්මුඛ පරීක්ෂණයකින් තෝරා ගන්නා ලද මුස්ලිම් දරුවන්ට පමණයි. දැඩි ආගමික භක්තියක් තිබීම නොමිලයේ මේ සේවාව ලබා ගන්නට අත්‍යාවශ්‍ය සාධකයක් වුනා, එහෙම ආගමික භක්තියකින් යුතු පිරිමි දරුවන් – මුස්ලිම් ගෑනු දැරිවියන් ඉහලට ඉගෙන නොගන්නා බව කවුරුත් දන්නවා නෙවැ – ඉංගිරිසි ඉගෙන ගැනීමට අවට ගම් හත අටක සිටම නසීර් සර් සොයා ආවා.

“කොයිතරම් සීදේවී වුනත්, තම්බියා තම්බියා නෙවැ. තමන්ගෙ එවුවන්ටම විතරයි…”

මෙහෙම කිව්වෙ මේ සේවාව ලබා ගැනීමට අපේක්ෂා කර බලපොරොත්තු සුන් වූ සිංහල ගැමියන්.

මොහොම්ඩ් නසීර් නීතිඥතුමා/ගුරු මහතා තමන්ගේ නව යොවුන් දැඩි ආගමික භක්තියකින් යුතු සිසුන්ට ඉගැන්වූයේ ඉංගිරිස් භාෂාව පමණක්ම නෙවෙයි.

ඔහු සමස්ත ආගංගොඩ ග්‍රාමයටම රහසින්, කිසිම සැකයක් නූපවන පරිද්දෙන්, ජාත්‍යන්තර අන්තවාදී ඉස්ලාමික සංවිධානයක ප්‍රාදේශීය නියෝජිතයා විදියට තමන්ගේ රාජකාරිය අකුරටම ඉටු කරමින්, අනාගතයේදී ඇති වන්නට පුලුවන් දේශීය මෙන්ම ජාත්‍යන්තර අවශ්‍යතාවයකදී ක්ෂණිකව ප්‍රයෝජනයට ගැනීමට හැකි ලෙසින් දැඩි කැපවීමකින් හා ස්ථිර ආගමික භක්තියකින් යුතු නව යොවුන් පිරිමි දරුවන් දොළොස් දෙනකුගේ ‘කිලර් ෆෝස්’ එකක් ගඩොලින් ගඩොල, මනා සංයමයකින් හා ඉවසීමකින් යුතුව, කිසිම හදිස්සියක් නැතිව, නිර්මාණය කරමින් සිටියා.

(එකොළොස්වැනි කොටසට… )

Advertisements
This entry was posted in Non classé. Bookmark the permalink.

4 Responses to දහය (10) කොටස : සීදේවී උගත් මිත්‍රයා

  1. DDT says:

    පොහ්ඃ එක දිගටම මුල ඉඳලම කොටස් ටික කියවගෙන ගියා. ලියාගෙන යමුකො ඔහොම.

    Like

  2. raj1st80 says:

    කොටස් දහයක්ම කියෙව්වත් මේකට දාන්න හරිහමං අදහසක් තාම ආවෙ නෑ නෙව!

    Like

  3. දුකා says:

    කොමෙන්ට් පසුවට.
    දැනට රස කෑමක් බුදින්නක් මෙන් පෙරේත කමින් එක දිගට කියවමින්

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s