අද අඟහරුවාදා.
මොන අඟහරුවාදෙයි?
අපේ සිරිසේන ගිරාම සේවක මහත්තයා ආගංගොඩ ගමේ ඉතිහාසය ගැන පරියේසනයක් කරන්න කියලා රස්සාවෙන් අස්වුනු සිකුරාදාට පසුව එළඹුනු පළමු අඟහරුවාදා.
තාම අකුරක් වත් ලියා ගන්න බැරිවුනා. බ්‍රවුන් පේපර් කවරයක් හෙම දාලා “ආගංගොඩ ගමේ ඉතිහාසය” කියලා ලොකු මුතු අකුරින් ලියපු පිටු දෙසීයේ සී. ආර්. පොත තවමත් මේසෙ උඩ.
ලියවෙමින් පවතින්නේ අලිඛිත ඉතිහාසය විතරමයි.
ඒ අස්සෙ ගමේ රාවයක් යනවා කතෝලික පල්ලියට හොරු පැනලා කියලා. වහලෙ උලුත් කඩාගෙන හොරු ඇවිත් තියෙන්නේ. හැබැයි ගෙන ගියපු දෙයක් නම් නෑ.
කොහොමත් සිරිසේන මහත්තයා දැන් ගිරාම සේවක නෙවෙයිනේ. එයා ඕවා තමන්ට අදාළ කර ගත්තෙ නෑ. බ්‍රදර් බර්නාඩ් යාලුවා වෙච්චි එක වෙනම කතාවක්. යාලුකම් වෙනයි, රැකියාව වෙනයි.
තමන් රස්සාවෙන් අස් වෙච්චි එක හොඳයි කියලා සිරිසේන මහත්තයට හිතුනා. උදේ පාන්දර මහින්ද මහත්තයගෙ කටවුට් එකකුත් කැඩුවය කියලා යූ. එම්. පී කාරයින්ගෙ ගෙවල් පහක්ම පුච්චලා. කටවුට් එක කඩපු එකා හම්බ වුනෝතින් හක්කෙ තියලා සෙම අරින තරහින් තමයි සිරි ලංකා කාරයෝ හා යූ. ඇම්. පී. කාරයෝ යන දෙපිරිසම ඉන්නේ.
- අන්තෝ ජටා බහි ජටා – ජටාය ජටිතා පජා
- තං තං ගෝතම පුච්ඡාමි – කෝ ඉමං විජටයේ ජටං
- සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ – චිත්තං පඤ්ඤංච භාවයං
- ආතාපි නිපකො භික්ඛු – සො ඉමං විජටයේ ජටං
දේසපාලන ප්‍රශ්න වලට මැදිහත් නොවන තරමට ඇඟට ගුනයි. ඒක සිරිසේන මහත්තයා කවදත් දැනගෙන හිටියා.
සාමාජීය වසයෙන් තව ලොකු ප්‍රශ්නයක් මතු වේගෙන යනවා. ප්‍රේම සම්බන්දයක් නිසා ගමේ දෙමල මිනිස්සුනුයි මුස්ලිම් මිනිස්සුනුයි එකිනෙකා මරා ගන්න තැනට ඇවිත්. ඇත්තටම මේක සාමාන්‍ය ප්‍රේම සම්බන්දයකට වඩා ඈත ගිය එකක්. කොල්ලයි කෙල්ලයි දෙන්නා අන්තයටම නොගියත් පොඩි ගල් යුගයේ සවාරියක් කර තිබෙනවා, හා ඒක දෙපිරිසම දන්නා ප්‍රකට කාරනාවක් බවට පත්වෙලා. මේවා ගැඹුරු ප්‍රශ්න.
ගිරාම සේවක වෙලා ඉන්න කාලෙ මේ සිද්දිය වැඩි දුර නොයන ආකාරයෙන් සාමදාන කරන්න සිරිසේන මහත්තයා උපරිම උත්සාහය දැරුවා. ඒ කාලෙ ඔය ගල් යුගේ සීන් එලියට ඇවිත් තිබුනෙ නෑ. දැන් තත්වය ඊට වඩා බරපතලයි. දෙපැත්තෙන්ම කීප දෙනෙක් මැරෙන තුරු හරි අවුල දිග ඇරෙන්නෙ ඉඩ තියෙනවා.
අදාළ නෑනේ.
හැම තිස්සෙම සිරිසේන මහත්තයා එහෙම හිතනවා. ඒත් සමහරවිට ඒ තාර්කික මනස බිඳගෙන පරන රැකියාවෙ පුරුදු ඉස්සරහට එනවා. මනුෂ්‍ය ස්වභාවයනෙ.
හවස් යාමය වෙනකොට තවත් සාමාජීය ප්‍රස්නයක ආරම්භය ඇතිවන ලකුනු සනිටුහන් වෙමින් තිබුනා.
බ්‍රදර් බර්නාඩ් පොලීසියට දීපු කට උත්තරේට අනුව වහල කඩාගෙන හොරු පල්ලියට ඇතුල් වෙච්චි අවස්තාවෙ, එක පාරටම ගැස්සිලා ඇහැරුනු බ්‍රදර් දැකලා තියෙනවා අපූරු දර්ශනයක්.
බෞද්ද භික්ෂුවක්!
හැබැයි බ්‍රදර් දිවුරලා කියනවා පොඩ්ඩක් ඇහැ පිහදාගෙන බලන කොට ඒ බෞද්ද භික්ෂුව හිටියෙ නැතිලු.
කට උත්තරේ ලියා ගත්තු කොස්තාපල් මහත්තයා නම් මේ ටික ලියා ගන්න කැමැති වුනෙත් නෑ. නමුත් සත්‍යගරුක බ්‍රදර් බර්නාඩ් කිව්වා සම්පූර්න සත්‍යය සම්පූර්න වසයෙන්ම ලියවෙන්න ඕනැ කියලා.
කොස්තාපල් මහත්තයා නම් හිතුවෙ මේක මුගෙ හීනයක් තමයි. මේ බෞද්ද විරෝදී අන්‍යාගමික කාලකන්නි ඉන්නෙම බෞද්දයින්ට විරුද්ද කුමන්ත්රන කරමින්, මුන්ට හීනෙනුත් පේන්නෙ බෞද්ද ස්වාමීන් වහන්සේලා තමයි කියලා. කොහොමටත් මේ ගැන ඇක්ශන් එකක් ගන්න පොලීසියට ලොකු උවමනාවක් තිබුනෙ නෑ. ඕක ඔහොමම අමතක වෙලා යයි කියලා තමයි පොලීසිය හිතුවෙ.
හැබැයි බ්‍රදර් බර්නාඩ් තියා පොලිසියවත් දැනගෙන හිටියෙ නෑ ‘හෙළ බොදු යුක්තිය’ කියන දේශප්‍රේමී සංවිධානයෙ කාරක සභික ස්වාමීන් වහන්සේ නමක් ආගංගොඩ ගමේ පන්සල හෙවත් සජ්ජනාරාමයේ වැඩ සිටින විත්තිය!
(නව වැනි කොටසට…)
බොඩු බාල සෙන්නා තිබුණේ නැද්ද ඒ කාලේ?
LikeLike
ආගංගොඩ නියම ගමක්නේ. මම තුෂ්නිම්භූත වෙලා මේක කියවන්නේ.
LikeLike
සුපිරියි, ආගංගොඩ කියන නම ඇහුවාම අල්ලංකාව මතකයට නැගෙනවා.
LikeLike
මරු ඕයි…..ආගංගොඩ ගම කියන්නෙ එළ පොට් එකක්නෙ…
මිස්ටර් රයිටිං ජෙන්ට්ල්මන්… මගේ සුබපැතුම්!
LikeLike