ඔය දෙමළ කොල්ලාගෙයි මුස්ලිම් කෙල්ලගෙයි පලහිලව්ව ගැන සමන්තබද්‍ර හිමිට බොහෝ කාලයකට ඉහත සිරිසේන මහත්තයා දැනගෙන හිටියා. ඒ ඔහු ගිරාම සේවක කාලෙ විසඳන්න වෙච්චි කේස් එකක් නිසා.
මිනිස්සු ගෑනු මැව්වෙ මහා බ්‍රහ්මයාද අල්ලා දෙවියන් වහන්සේද කියන්න මම දන්නෙ නෑ. සමහරවිට දෙන්න එකතුවෙලා ජොයින්ට් ප්‍රොජෙක්ට් එකක් හැටියට කරන්නත් ඇති. ඒ කොහොම වුනත්, මේ මැවීම අන්තිම අසම්පූර්න වැඩක්. කොටින්ම අල්ලා දෙවියන් වහන්සේට තිබුණා (එයා මැව්වා නම්) මුස්ලිම් ගෑනු ළමයි මුස්ලිම් පිරිමි ළමයින්ට විතරක් ආකර්ෂණය වෙන විදියට මවන්න. ඕකෙම අනෙක් පැත්ත කරන්න තිබුණා මහා බ්‍රහ්මයාටත්. අවාසනාවකට ඒක වුණේ නැහැ. මේ මැවීමේ තියෙන අසම්පූර්නකම හන්දා මුස්ලිම් ගෑනු ළමයි දෙමළ පිරිමි ළමයින්ට ආකර්ෂණය වුනා. දෙමළ පිරිමි ළමයිනුත් මුස්ලිම් ගෑනු ළමයින්ට ආකර්ෂණය වුණා.
ඕක තමයි කියන්නෙ ප්‍රොඩක්ෂන් ෆ්ලෝර් එකට එන්න කලියෙන් ඩිසයින් මිස්ටේක්ස් කරෙක්ට් කරන්න ඕනැ කියලා. ප්‍රොඩක්ෂන් එක ඉවර වුනායින් පස්සෙ ඩිසයින් මිස්ටේක්ස් හදන එක බොරු.
ඒක කිව්වෙ මේ ලියන මහත්තයා වන මා විසින් නොව ටවුමේ ටයර් පැක්ටරියේ මැනේජර් මහත්තයා විසින් බව කරුනාවෙන් සලකන්න.
ඔය මුස්ලිම් කෙල්ලයි දෙමළ කොල්ලායි ගැන කතාව ඉතාම රසවත්.
මෙන්න මෙහෙමයි ඒක පටන් ගත්තේ.
මම කිව්වා නේද ආගංගොඩ කියන්නෙ ආගම් හතරක් අදහන ජනතාව හරි හරියට වෙසෙන ගමක් කියලා. හැබැයි ගමේ ජනගහණය ඒ තරම් විශාල නැති නිසා ඩඩ්ලි සේනානායක මහතාගේ ආන්ඩුවෙ අධ්‍යාපන ඇමැතිව සිටි ඊ. එම්. ඊරියගොල්ල සිරිමතානන් හිතුවෙ නෑ ඉස්කෝල හතරක් දෙන්න. එයා ඉස්කෝල දෙකක් දුන්නා. එකක් සිංහල මාධ්‍ය. අනෙක දෙමළ මාධ්‍ය. බවුද්ද හා කතෝලික ළමයි සිංහල මිශ්‍ර පාසලට ගියා. දෙමළ හා මුස්ලිම් ළමයි දෙමළ මිශ්‍ර පාසලට ගියා.
දැන් තේරෙනවා නේද, වයස අවුරුදු හයේදි රෝමියෝ ජුලියට් ආදර අන්දරයක් ආරම්භ වුනේ කොහොමද කියලා.
කෙල්ලයි කොල්ලයි දෙන්නම ඉගෙන ගන්න දස්සයි. මුලදි කෙල්ල පන්තියෙ පළවැනියා වෙනකොට කොල්ලා දෙවැනියා වුණා. පස්වැනි පන්තියෙන් විතර පස්සෙ මේක අනෙක් පැත්තට හැරුණා ඉබේම. දැන් කොල්ලා පළවැනියා. කෙල්ල දෙවැනියා. දෙන්නම බ්‍රදර් බර්නාඩ් වගේ සිස්සත්තෙ පාස් නොවුනු හන්දා ලොකු ඉස්කෝල වලට ගියෙත් නෑ. ඉගෙන ගන්න සූර නිසා ඉස්කෝලෙන් අස්වුනෙත් නෑ. කෙල්ලගෙ පවුලත් සාම්ප්‍රදායිකම මුස්ලිම් නොවෙන හින්දා කෙල්ල ඉගෙන ගන්නවාට ලොකු විරුද්ධත්වයක් තිබුනෙත් නෑ.
නවයේ දහයේ වසර විතර වෙනකොට මේක අප්රකාශිත – ඒ කියන්නෙ දෙන්නගෙන් එක්කෙනෙක් වත් ‘ආදරය’ කියන වචනය භාවිතා නොකළ – බොහෝම දැඩි සම්බන්ධයක් වෙලා තිබුණා.
දැන් ඔහෙලා හිතනවා ඇති ඇයි මේක මේ කාලෙදිම දෙමාපිය මැදිහත්වීමකින් නොකැඩුනේ කියලා. මතක තියා ගන්න මේ කොල්ලායි, කෙල්ලයි දෙන්නම මහා මොළ දෙකක්, සිස්සත්තෙ පාස් නූනට. උන් දෙන්නා කතා කරගෙන වගේ හැසිරුණේ මෙහෙම දෙයක් හාංකවිසියක් නැති ගානට. සමහර වෙලාවට දෙන්න තමන් එකිනෙකා අප්‍රිය කරන බව පෙන්වන්න බොරු ගේම් ඇද්දා. කෙල්ල පොඩි වැරද්දක් කළාම කොල්ලා වහාම ගුරුවරුන්ට පැමිණිලි කරපු අවස්ථා තිබුණා. දෙන්නා එකිනෙකාගෙ පොත් පත් පවා හුවමාරු කර ගත්තෙ ඉතාම කලාතුරෙකිනුයි. හැබයි මේ එලියෙ කාටවත්ම නොපෙනෙන දේවල් අතරෙ යටින් ඉතාම දැඩි සම්බන්දයක් අතු ඉති දළු ළමින් තිබුණා…
මං මේ කියන්න යන සිද්දිය වෙනකොට මේ දෙන්නා අතර ඔය අපි ඔහෙලා දන්න ජාතියෙ ස්ථිර ආදරයක් කියලා හෙම මොකෝවත්ම පටන් අරගෙන නෑ. කොටින්ම ‘ආදරය’ කියන වචනය වත් දෙන්නා අතර හුවමාරු වෙලා නැහැ ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන්. මේ දෙන්නා අතර කතාබහකදි ‘ආදරය’ කියන වචනය හුවමාරු වුණා නම් ඒ වෙන දෙන්නෙකුගේ සම්බන්දයක් ගැන කතා කරන අවස්ථාවකදි විතරයි. නමුත් දෙන්නා හොඳම මිතුරන්. ඒ හන්දා රටේ ලෝකයේ බොහෝ දෙවල් ගැන දෙන්න විවෘතව කතා කළා.
එක දවසක් දෙමළ කොල්ලා මුස්ලිම් කෙල්ල ගෙන් මෙන්න මෙහෙම – සාමාන්‍යයෙන් කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් අහන්නේ නැති ජාතියේ – නස්කූනි ප්‍රශ්නයක් ඇහුවා.
නෑ, නෑ ඔයා මට ආදරෙයිද කියලා හරි අපි සම්බන්දයක් පටන්ගනිමුද කියලා නෙවෙයි ඇහුවෙ. තොපිට… වැරදුනා ඔය ගරු මහත්වරුන්ට ඊට වැඩිය පරිකල්පන ශක්තියක් නැති එකට මම මොනවා කරන්නද?
සිංහලෙන් හෙමත් නෙවෙයි දෙමළෙන්මයි ඇහුවෙ. මම දෙමළ නොදන්නා නිසා තේරුම් ගන්න පුළුවන් විදිහට ලියන්නම්.
“ඇත්තද මුස්ලිම් ගර්ල්ස්ලා ඇඟේ තියෙන හැම රෝම කූපයක්ම ෂේව් කරනවා කියන්නෙ?”
(හත්වැනි කොටසට…)
අමුතුම කතාවක් වගේ – තාම හිතාගන්න අමාරුයි – බලමු
LikeLike
ituru tika ikmanta daapiya huttoo… 😦
LikeLike