සිරිසේන හිටපු ගිරාම සේවක මහත්තයත්, බ්‍රදර් බර්නාඩුත් තමන්ගේ ගමේ ඉතිහාසය ලිවීමේ ප්‍රොජෙක්ට්ස් වෙන වෙනම කර ගෙන යද්දිත් ඔවුන් නොදැනුවත්වම ආගංගොඩ ගමේ ඉතිහාසය ලියවෙමින් තිබුනා සියවස් දහස්වස් ගණනක් තිස්සේම. හැබැයි ඒ අවශ්‍යයෙන්ම පොත්පත් වල නෙවෙයි.
මුරුගේසු එහෙම අලිඛිත ඉතිහාසයක් ලියපු ඉතිහාසඥයෙක්.
මනිවන්නන් මුරුගේසු – දෙමළ සම්ප්රදායයට අනුව පියාගේ නමත් සමඟම – ඉපැදුනේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ. හැබැයි ඒ දවස්වල තමිල්නාඩු ප්‍රාන්තයක් නෑ. දැනට බෙදිලා තියෙන ප්‍රාන්ත කිහිපයක කොටස් එකතුව මදුරාසි ප්‍රාන්තය කියලා තමයි මුරුගේසුගේ උපන් රට හැඳින්වුනේ.
ඒ කියන්නෙ, ඒ යුගයේ ඉන්දියානු ව්‍යවහාරය අනුව මුරුගේසු ‘මැඩ්රාසියෙක්’. දකුණු ඉන්දියානුවෙක්. රාමායනයේ හනුමන්ගේ හමුදාවට අයත් වූ වානරයන් සේ නිරූපිත ජන කොටස දකුනු ඉන්දියානුවන් බව කියැවෙනවා. ඔවුන් සාමාන්‍යයෙන් ඉන්දියාවේ උතුරේ, බටහිර, නැඟෙනහිර හා මධ්‍යයේ වැසියන්ට ස්වරූපයෙන්ද, හැසිරීමෙන්ද වෙනස්.
මුරුගේසු ලංකාවට – ඒ කාලෙ කිව්ව විදියට සිලෝන් එකට – ආවෙ කෝපි කාලෙ. ඇත්තටම මේ මුනියා ආවෙත් කෝපි වගාව නිසාම තමයි. ඒ කාලෙ ලංකාවෙ ප්‍රධාන ආදායම් භෝගය කෝපි. දෙමල උච්චාරනය අනුව ‘කොපි’.
කෝල්බුරුක් හා කැමැරූන් කියලා මෑන්ස්ලා දෙන්නෙක් ගැන මුරුගේසු අහලා තිබුනේම නෑ. හැබැයි මුරුගසුගේ ජීවිතය වෙනස් කලේ මේ මෑන්ස්ලා දෙන්නා තමයි.
ලංකාවෙ කෝපි වවන්න ලන්දේසි යුගයෙ පටන්ම උත්සාහයක් තිබුනාලු. හැබැයි ඒ උත්සාහය සාර්තක වුනේ නෑ. ලංකාවෙ එක්තරා අන්දමකට මහා පරිමානයෙන් කෝපි වවන්න ඉංගිරිස් කාරයින් පටන් ගත්තෙ මේ කෝල්බුරුක්-කැමැරූන් මෑන්ස්ලා දෙන්නාගෙ මැදිහත්වීමෙන් ඇති වෙච්චි 1833 ප්රතිසංස්කරන වල එක අංගයක් හැටියටයි.
1830 දසකයෙදි ඉංගිරිස්කාරයා ඒ වනතෙක් පහත රට සුලුවෙන්, සාර සුබාවක් නැතුව පැවතුනු කෝපි වගාව උඩරට මහා පරිමානයෙන් ආරම්බ කරන්න කල්පනා කලා. ඒ 1815 හා ඊට පහු කාලෙක කන්ද උඩරට රාජදානියෙන් ලබා ගත්තු කැලෑ ඉඩම් වැවිලිකරුවන්ට විකුනලා, එලි කරලා. මේ ඉඩම් වල රාජකාරියට රටේ සිංහල ජනතාව කැමැති වුනේ නැතිලු. කියන්නෙ නම් ඒ උන්ගෙ මහන්තත්තකමට කියලා. හැබැයි ඒකට තවත් හේතු ගනනක් තිබුනා. උඩරට කැලෑ එලි කිරීම කියන්නෙ සෙල්ලමක් නෙවෙයි. “කැලෑ උන” කියලා පොදු ව්‍යවහාරයේ හැඳින්වුනු මැලේරියාව දරුණු ලෙස පැතිරෙමින් තිබුනා. මුල් යුගයෙ වතු වැඩට ගෙන ආ දෙමළ කම්කරුවන් බාගයට බාගයක් මැලේරියාව නිසා මැරුනාය කියලා තමයි ලියවිලා තියෙන්නෙ.
සුද්දාට මුරුගේසුලා සිලෝන් එකට ගේන්න අවශ්‍ය වුනේ ඒ හන්දා.
සිලෝන් එකට ආවේ මොන වෙරළින්ද කියලා වත් මුරුගේසු කවමදාවත් දැනගෙන හිටියෙ නෑ. මුරුගේසුට මතක ඉස්සෙල්ල පයින් හා කරත්ත වලිනුයි පහු වෙන්න ලොකු ඔරුවකිනුයි ඊටත් පස්සෙ ආපහු පයිනුයි ලොකු දුරක් ඇවිදින් සිලෝන් වල ‘බොටර්නෙල්’ වතු යායට ආවා කියලා විතරයි. මෙ ගමනෙදි තමන්ගෙ ගමන් සගයින් සිය ගානක් මැරෙනවා බලා ඉන්නත් මැරුනාම වලදාලා හරි ගොලු මුහුදට අතෑරලා හරි අවසාන කටයුතු කරන්නත් මුරුගේසුට සිද්ද වුනා.
මුරුගේසුගෙ ලංකා ගමන ගැන මං වැඩි විස්තර ලියන්න යන්නෙ නෑ. කුන්ටා කෙන්ටෙ කියලා කලු තරුනයෙක් මීට සමාන්තර කාලයක ගැම්බියාවෙ සිට එක්සත් ජනපදයට බලෙන් ගෙන ගිය ගමන ඔහේලා “රූට්ස්” පොතින් කියවලා ඇති. නැත්නම් චිත්‍රපටයෙන් දැකලා ඇති. මුරුගේසුගෙ ගමන ඒ තරමටම දුස්කර නැති වුනාට කිට්ටුයි.
මුරුගේසු ‘බොටර්නෙල්’ වතු යායේ කාලයක් වැඩ කලා. වැඩ ලොකුවටම අමාරුවක් නෑ. තරමක පඩියකුත් ලැබුනා. මුරුගේසු ටිකෙන් ටික වතු යායේ ප්‍රජාවේ කොටහක් බවට පත්වුනා කියමුකො. තවමත් තනිකඩයා. සුද්දා ගෑනුත් ගෙනාවා තමයි. ඒත් මුරුගේසුගෙ “මගේ නොවන මගේම ප්‍රේමය” පාර්වතී තව මිනිහෙක් එක්ක දීග ගියා. අන්තිමට බලාගෙන යනකොට හැමෝටම විඳින්න වුනේ ගොලු හදවත අත්දැකීම තමයි. කරුනාසේන ජයලත් මහත්තයා ඕවා දිවැහින් දැකලා වාගෙ කොහොම ලිව්වද මන්දා.
පාර්වතීගේ සිද්දිය නිසා මුරුගේසුට ‘බොටර්නෙල්’ වතුයාය එපා වෙලයි තිබුනෙ.
ඒ එක්කම තමන් උපන් ගමේදි දුටුව “සිලෝන් සිහිනයේ” පතුරු ගැලවෙමින් තිබුනු බවත් ඔහු තේරුම් ගනිමින් සිටියා.
මුරුගේසුගේ වතුයායේ බොක්ක වී තිබුනේ රගුනාදන්. දවසක් දෙන්නා බුලත් විටක් හපමින් මේ ගැන කතා කලා.
“මට හිතෙනවා මේ වතු යායෙන් පැනලා යන්න”
මුරුගේසු කිව්වා.
කිව්වෙ මෙහෙම සිංහලෙන් හෙම නෙවෙයි. දෙමලෙන්. මට දෙමල බැරි නිසයි සිංහලෙන් ලිව්වෙ. පහත දෙබස ඇති වුනෙත් – අතරින් පතර සිංහල වචනයක් දෙකක් තිබුනත් – දෙමලෙන්ම තමයි.
“මේ වතුයායෙන් පැනලා කොහෙ යන්නද? කොහොමද අපි එදා වේල හොයා ගන්නෙ?”
“මං අහලා තියෙනවා ආං අර පැත්තට දවස් හය හතක් ඇවිද්දාම සිංහල ගම් හම්බවෙනවා කියලා. අපි ඒවායින් මොනවා හරි රස්සාවක් හොයා ගනිමු.”
මුරුගේසු නිරිත දිහාවට අත දික් කලා.
“උඹට පිස්සුද ගොන් හරකෝ? මේ අපේ රට නෙවෙයි. අපට ඒ මිනිස්සුත් එක්ක කතා කරන්නවත් පුලුවන්ද සිංහල බැරුව?”
“අපි ඔය පුලුවන් විදියට කතා කරමු. අපට සහේට ගන්න ගෑනියෙක් හෙමත් හොයා ගන්න පුලුවන්”
‘සිංහල ගෑනියෙක්?”
“නැතුව වැඳිරියෙක්යැ?”
ඒ අවසාන අදහස නම් රගුනාදන්ගෙ දැඩි හිතත් ටිකක් මොලොක් කල බව පෙනුනා. වත්තෙන් කසාද බඳින්න ගෑනියෙක් හොයා ගන්නවට වැඩිය ලේසියි කඩාගෙන වැටෙන්නෙ නැතුව කෝපි ගහේ කරටියටම නගින එක.
සුභ නැකැත් බැලීම් වගේ දෙවල් නොතිබුනු හන්දා ඊලඟ අමාවක දවසෙම අවශ්‍යම ඇඳුම් කැඩුම් කාරිය ඔතාගෙන මුරුගේසුත් රගුනාදනුත් වත්තෙන් අතුරුදහන් වුනා. මේ වගේ අතුරුදහන් වීම් ඒ තරම්ම දුලබ වුනේ නෑ. අහු වුනා නම් දඬුවම් විඳින්න වෙනවා. හැබැයි හොඳ ශ්‍රම සැපයුමක් කොහොමත් තිබුනු නිසා පෙරියදොරේ මේවා ලොකුවට ගනන් ගත්තෙත් නෑ.
කවමදාවත් අනුන්ගේ දෙකට අත නොතබපු මුරුගේසු එකම එක දෙයක් වත්තෙන් හොරකම් කලා. ඒ තමා සියලු දෙනාගේම වන්දනයට තිබුනු ගන දෙවි ප්‍රතිමාව. ඒක මේ මහා කලාත්මක නිර්මානයක් හේම නෙවෙයි. මැටියෙන් හදලා වේලලා සායම් හෙම ටිකක් උලලා තිබුනු පොඩි එකක්.
පුරා දින පහක් කැලෑ කොල කකා, දොල පහර වලින් වතුර බිබී, දවල්ට නිදාගෙන රෑට ගමන් කරමින් මුරුගේසු හා රගුනාදන් නිරිත දිගට ගමන් කලා. කඳුකර බිම් වලින් හෙමි හෙමිහිට බැහැගෙන ආපු ඔවුන් තැනිතලා කෑලෑ මැදිනුයි අවසාන දින කිහිපයේදි ගමන් කලේ.
මේ දුස්කර ගමනෙදි ලොකුම ගැටලුව වුනේ ආහාර. හාවෙක් මීමින්නෙක් හෙම නෙලා ගන්න අවස්ථාව තිබුනත් ශාකහාරී භක්තිමත් හින්දු තරුනයින් දෙන්නා ඒක කරන්න කැමැති වුනේ නැහැ.
දෙවැනි ගැටලුව වුනේ මැසි මදුරු ප්‍රහාර. ගමකට ළඟා වෙන්න කලියෙන් කැලෑ උන හැදිලා තමන් මියැදෙයි කියලා හැඟීමක් දෙන්නටම පහල වෙලා තිබුනත් ඔවුන් ඒක එකිනෙකාට කිව්වෙ නෑ.
කොයිතරම් අපහසුවෙන් වුනත් මුරුගේසු ගන දෙයියන්ගේ ප්රතිමාවත් ඔසවාගෙන ගියා. ගන දෙයියන් තමන්ගේ ගමනට ආසිර්වාද කරන බවත්, ගන දෙයියන් නොහිටියා නම් තමන්ට මේ තරම් දුර එන්න බැරි බවත් මුරුගේසු තදින්ම විස්වාස කලා.
කැලෑව මැද්දෑවෙන් මේ සමූහ මිනිස් හඬ ඔවුන්ට ඇහුනෙ සය වැනි දවස උදා වේගෙන එන හිමිදිරි පාන්දර…
“අල්ලා….හු අක්බර්…අල්ලා….හු අක්බර්…”
(සතරවැනි කොටසට…)
දැන් ඉතිං ඊළඟ කොටසත් කියවන්න වෙනවා.
LikeLike