“මෙච්චරක් අපූරු, මාසෙ පඩියක් ගන්න, ස්තිර ආන්ඩුවේ රස්සාවක් දාල යන්න හිටං තමුන්ට මොලේ අමාරුවක් තියෙයියැ?”
පහයාලනවැව දිසාපතිතුමා ඇහුවය කියමුකො.
පහයාලනවැව දිසාපතිතුමා කොටයි. එතුමාගෙ මේසය ඕනෑවටත් වැඩිය උසයි. ඒ හන්දා ඉස්සරහින් ඉඳගෙන හිටිය, ඒ වාගේම කොට, සිරිසේන මහත්තයට පෙනුනේ එතුමාගෙ ඔලුව විතරයි. ඒ රවුම් ඔලුව ඔරලෝසුවේ බට්ටා අනෙක් පැත්ත ගහලා වාගෙ වමට දකුනට වැනුනා.
සිරිසේන ගිරාම සේවක මහත්තයා එක වංගියට උත්තරයක් දුන්නෙ නෑ. තමුන් කියන්න යන බොරුව ඕනෑවට වඩා අදින්න ගියොත් හබක් වෙන්න ඇහැකි කියලා එයාට කලින්ම හිතිලයි තිබුනේ. ඇත්ත දන්නවා නම් දිසාපතිතුමා කවදාවත් අස්වෙන්න ඉඩ නොදෙන බව සිරිසේන මහත්තයා දැනගෙන හිටියා. සිරිසේන මහත්තයා අවංක කාර්ය සූර නිලදාරියෙක් බව පහයාලනවැව දිසාපතිතුමා දන්නවා.
පහයාලනවැව දිසාපතිතුමාත් කොට උනාට සූරයා. බුල්ඩෝසරයක් වගේ තමයි වැඩ. ගෝටාබය සෑර්ගෙ එක අච්චුවෙ. හිතුවද, ඒක කොලා.
දවසක් උදේ පාන්දර කච්චේරියට යන වංගියක සිරිසේන මහත්තයා අත, පරන යාලුවෙක් තන්තෝසෙට දීපු අරක්කු කාලෙ බෝතලයක් තිබුණා. ඔව්ව අරගෙන කච්චේරියට ගියෑකියැ. සිරිසේන මහත්තයා ඒක කච්චේරියෙ අන්දර වැටේ හංගලා ගියා කාටවත්ම හොයා ගන්න බැරි විදියට.
හෝරා කීපයක් ගත කොරලා වැඩ ටික ඉවර කොරගෙන සිරිසේන මහත්තයා කච්චේරියෙන් එලියට බැස්සා.
යකඩො, අන්දර වැට නෑ!
පහයාලනවැව දිසාපතිතුමාගේ අන පරිදි අන්දර වැට කපලා, අගලුත් කපලා බාස්සුන්නැහේලා තාප්පෙකට පවුන්ඩේසම දානවා කියමුකො. දැන් ඉතින් අරක්කු කාල කොහේ කියලා හොයන්ටයැ. සිරිසේන මහත්තයා ඔන්නොහෙ කියලා ඒකට තිබුණු ආසාව අත ඇරලා දැම්මා.
“ඇත්තටම මොකද තමුන් අස්වෙන්න හේතුව?”
දිසාපතිතුමා ආයෙත් ඇහුවා. ඔහොම නෙවෙයි, ගැඹුරු හඬින්. කෙනෙක් ගැඹුරු හඬින් අහන ප්රස්නයක් ලියනකොට ලියන්නෙ කොහොමද මට තේරෙන්නෙ නැති නිසයි එහෙම ලිව්වෙ.
“මට ගමේ යූ ඇම් පී කාරයින්ගෙන් අමාරුයි සර්…”
ඒකට නම් පහයාලනවැව දිසාපතිතුමා තර්ක කරන්න ගියේ නෑ. සිරිසේන මහත්තයා උපන්දා ඉඳං සිරිලංකා කාරයා. කැපුවත් නිල් පවුලක වැඩිමලා. යූ ඇම් පී කාරයෝ හැමදාමත් සිරිසේන මහත්තයාට විරුද්දකම් කොලා. පොඩි පොඩි දේවල් නෙවෙයි මහ බයානක කැත වැඩ. දිසාපතිතුමා ඒ හැම දෙයක්ම දන්නවා.
පහයාලනවැව දිසාපතිතුමා මේ තීරනයට විරුද්ද නොවුනු අනෙක් හේතුව තමයි ඉන්තේරුවෙන්ම සිරිසේන මහත්තයා තනිකඩයා බව දැන සිටීම.
සිරිසේන මහත්තයා කවමදාවත් විවාහ වුනේ නෑ. පාසල් යන දවස් වල සීනියර් පංතියෙදි ඔය ජයන්ති කියලා ගෑනු ලමයෙක් එක්ක මොකද්ද පලහිලව්වක් තිබුනාලු. ඒක හරි ගියේ නෑ. ඒ කතාව ඔහේලට දැන ගන්නම ඕනැම නම් ගොලු හදවත පොතේ දම්මි-සුගත් වෙනුවට ජයන්ති-සිරිසේන කියලා නම් මාරු කරගෙන කියවන්න. මං මොටෝ වචන නාස්ති කරන්නෙ තව?
හැබැයි විවාහ නොවුනාය කියලා සිරිසේන මහත්තයට ඔය වෙන මනුස්සයින්ට වගේ හොර ගෑනු, ගැටව් එක්ක ගනුදෙනු වගේ අනම් මනම් තිබුනෙත් නෑ. සුද්දගෙ බාසාවෙන්ම කිව්වොත් සිරිසේන මහත්තයා සුපිරිසිදු චරිතයෙන් යුතු “පෝටි ඉයර් ඔල්ඩ් වර්ජින්” කෙනෙක්. අඩුත් නෑ. වැඩිත් නෑ. සිරිසේන මහත්තයාගෙ ජීවිතය වුනේ රැකියාව රැකියාව හා රැකියාව.
මේ කතා දන්න නිසාම දිසාපතිතුමා සිරිසේන මහත්තයාගේ තීරනය වෙනස් කරන්න ලොකුවටම උත්සාහයක් ගත්තෙ නෑ.
“තමුන්ට අවස්යමනං ඉතින් මං මේ ලියුම බාර ගන්නං, හැබැයි රජෝ තමුන් කවදා හරි මේ ගැන පසුතැවෙන බව මම හොඳින්ම දන්නවා…”
පහයාලනවැව දිසාපතිතුමා අන්තිමට අස්වීමේ ලියුම බාර ගන්න ගමන් කිව්වා.
සිරිසේන මහත්තයා මිටෙන් හල කුරුල්ලෙක් වගේ සැහැල්ලුවෙන් ගෙදර ගියා.
හෙට ඉඳලා පටන් ගන්න බලාපොරොත්තු වුනු රීසර්ච් ප්රොජෙක්ට් එකක පිඹුරු පත් ඔහු බොහෝ කාලයකට කලියෙන් ඇඳලයි තිබුනෙ.
(පලවන කොටහට…)
කාලෙ බෝතලේ සාක්කුවේ වුනත් දාන්න ඇහැකි නේද?
LikeLike